ඉන්දියාවේ පහල්ගාම්හි ඇති වූ ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වූ ආතතිකාරී තත්වය සහ ඉන්දියාව විසින් ඉන්දු ජල ගිවිසුම අහෝසි කරන බවට අනතුරු හැඟවීම ඇතුලු සිදුවීම් හමුවේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ හා නොබැඳි භූමිකාවක් ඉටු කරනු ඇතැයි පාකිස්ථානය බලාපොරොත්තු වන බව එරට ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනයේ සුවිශේෂී ලක්ෂණය වන නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇතැයි එහිදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ කළ දුරකථන සංවාදයෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ වචන පාකිස්තාන බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති බව එහිදී පෙන්වා දෙයි.
පහල්ගාම් සිදුවීම පිළිබඳ ඉන්දියනු රජය ඍජුව පාකිස්ථානයට චෝදනා එල්ල කොට, පාකිස්ථානයට එරෙහිව පියවර ගනිමින් සිටියදී, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැතිවරයාට දූරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් පසු එක්ස් පණිවිඩයක් නිකුත් කර තිබුණි. එහි සඳහන් වූ වචන අතර, සාමාන්‍ය මධ්‍යස්ථා භාෂාවක් තිබුණු නමුත්, ශ්‍රී ලංකාවේ සහයෝගය අගමැතිවරයට ප්‍රකාශයට පත් කළ බවත්, ත්රස්තවාදයට එරෙහිව දෙරට අතර සාමූහික කැපවීමක් පවතින බවත් සඳහන් කර තිබුණි. අසීරු කාලයන්හිදී ඉන්දියාව සමඟ සිටගන්නා බවත් කියා තිබුණි. කෙසේ වෙතත්, ඒ වන විට ඉන්දීය රජය තමන්ගේ දේශසීමාව තුළ, තමන්ගේ ආරක්ෂක හමුදාවක් සිටින පසුබිමක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ අසල්වැසි පාකිස්ථානයට වරද පටවා පාකිස්ථානයට එරෙහිව පියවර ගනිමින් තිබුණි. එම නිසා ශ්‍රී ලංකාව සහයෝගය දක්වන බව ප්‍රකාශ කිරීමේදී මෙරට ජනාධිපතිවරයා සහෝගය දක්වා තිබුණේ එවන් ක්රියාමාර්ගවලටය.
ඩේලි මිරර් වෙත අදහස් දැක්වූ පාකිස්ථානු මූලාශ්‍රය කියා තිබුණේ, ඕනෑම ආකාරයක ත්රස්තවාදයක් පාකිස්තානය හෙළා දකින බවය. පහල්ගාම්හිදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට පාකිස්තානය සූදානම් බවද ඔහු පවසා තිබේ.
තම කෘෂිකර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය වන ඉන්දු නිම්න ගංගා ජලය අත්හිටුවුවහොත් පාකිස්තානය හමුදාමය වශයෙන් ප්‍රතිචාර දක්වන බව එම ආරංචි මාර්ගය පැවසීය. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ජාතීන් ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර පූර්ණ යුද්ධයක් ඇති වුවහොත් එය මුළු කලාපයටම විනාශයක් වනු ඇතැයි එම මූලාශ්‍රය සඳහන් කර තිබුණි.
පාකිස්ථානය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වූ මිත්‍ර රාජ්‍යයක් බව එම මූලාශ්‍රය සිහිපත් කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන් සඳහන් කර ඇත්තේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර ආතතිකාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බවයි.
