කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා, ඒත් මිනිස්සු මැරුණේ නැහැ – ගම්මන්පිළ

වත්මන් ආණ්ඩුව දේශපාලන වාසි තකා සිදු කළ අධිප්‍රචාරණය නිසා මහනුවරට දරා ගත නොහැකි ජනතා ප්‍රමාණයක් පැමිණි බවත් එයින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ, ලොව බිහිසුණුම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේදී දළදා ප්‍රදර්ශන පැවැතුණු නමුත් එයින් කිසිඳු ජීවිතයක් බිලි ගැනීමට නොහැකි ආකාරයට කටයුතු සංවිධානය කළ තිබූ බවයි.

නමුත් මෙවර කිසිම ත්‍රස්තවාදයක් නැතිව ජීවිත හයක් අහිමි වුණ බව ඔහු එහිදී අවධාරණය කළා.

ප්‍රමාණය ඉක්මවා දළදා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රචාරය කලොත් පාලනය කළ නොහැකි සෙනගක් එන බව තේරුම් ගත හැකි සරල කාරණයක් බවට පැවසූ උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවේ සංවිධානයේ දුර්වලතා නිසා මෙවැනි දේ සිදුවන බවද වැඩිදුරටත් පෙන්වාදෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා :

“දේශපාලන වාසි තකා මාලිමාව කරපු අධිප්‍රචාරණය නිසා මහනුවරට දරා ගත නොහැකි ජන ගඟක් ගලා ආවා. හය දෙනෙක් මිය ගියා. පන්සීයකට ආසන්න පිරිසක් රෝහල් ගත කරන්න වුණා.කොටි ත්‍රස්තවාදය පවතින අතරේ දළදා ප්‍රදර්ශන හතරක් කලා. ඒ 1991, 1995, 2004 සහ 2009 යන වසර වල දී. ලෝකයේ භයානකම ත්‍රස්තවාදි සංවිධානයටවත් එක ජීවිතයක් බිලි ගන්න බැරි විධියට කටයුතු සංවිධානය වුණා. නමුත් මෙවර කිසිම ත්‍රස්තවාදයක් නැතිව ජීවිත හයක් අහිමි වුණා.

දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ එක දවසට උපරිමය පැය පහයි. ඒ නිසා ප්‍රමාණය ඉක්මවා දළදා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රචාරය කලොත් පාලනය කළ නොහැකි සෙනගක් එන බව තේරුම් ගත හැකි සරල කාරණයක්. අධිප්‍රචාරණය අවාසි ගෙන දෙන ක්‍රියාවක් කියලා නවයේ පන්තියේ වාණිජ විෂයටත් අපට ඉගැන්නුවා. ඒ නිසා නවය පන්තිය සමත් ඕනෑම කෙනෙකුට මේක තේරෙනවා. ඒ නිසා තමයි මීට පෙර දළදා ප්‍රදර්ශන වල දී ප්‍රචාරණය සීමිතව සිදු කලේ.

ආණ්ඩුවේ සංවිධානයේ දුර්වලතා නිසා ජනතාවට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා ජනතාවට බර දරා ගන්න බැරි වුණාම බෝතල් වලට මළු වලට මුත්‍රා කරන්න මළ පහ කරන්න සිදු වුණා. දැන් නුවර වැව බේරේ වැව වෙලාලු. මහනුවර විසාලා මහනුවර වගේ වේවිලු. මේවා කියන්නෙත් ආණ්ඩුවේම අය. ආණ්ඩුව වෙනුවෙන් මහනුවර සිටින ඉහළම නිලධාරියා වන මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමා කියනවා “තාක්ෂණය යොදා විද්‍යාත්මක පදනමක් මත දළදා වඳින්න එන සෙනඟ ගැන්නා නම් මෙවැනි විපතක් වෙන්නේ නෑ” කියලා. ඉතින් කවුද කරන්න එපා කිව්වේ. එතුමානෙ ඒක කරන්න ඕනි. මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අය දැන් ආණ්ඩුව කියන එක අමතක වෙන එක. දැන් විවේචනය කර කර ඉඳලා වැඩක් නෑ. වැඩේ කරලා පෙන්වන්න ඕනි.

ජනාධිපතිතුමා රට පුරා යමින් නගර සභා ප්‍රාදේශීය සභාවල බලය මාලිමාවට ඉල්ලනවා. නගර සභාවල ලොකුම වගකීම තමයි දිනපතා කුණු අදින එක. දින දහයක ජාතික උත්සවයක කුණු ටික ඇද ගන්න බැරි වුණු මාලිමාවට මුළු රටේම හැමදාම කුණු අදින්න පුළුවන් ද? මාලිමාවට පුංචි ආණ්ඩුවල බලය දුන්නොත් රටම විශාල මහනුවරක් වන බවට හොඳම සාක්ෂිය තමයි මහනුවර ව්‍යසනය”

Author

Related Posts