තමන් ඉගෙනුම ලැබූ පාසලේ සාමාන්‍ය පෙළ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙක්.
පසුගිය 16 වනදා රිදීගම – වෙලෙගෙදර – අංහන්දිය ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීම සඳහා මිය ගිය සිසුවාගොස් තිබෙනවා.
යන අතරමග රැකසිටි එම පාසලේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් සහ තවත් පිටස්තර පිරිසක් පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙම මියගිය සිසුවාට පහරදී තිබෙන බවයි පැවසෙන්නේ.
එහිදී ආරක්ෂිත හිස් වැසුම්වලින් සිසුවාගේ හිසට පහරදී ඇති අතර, අනතුරුව සිහිමුර්ඡා වී ඇති සිසුවා ප්‍රතිකාර සඳහා පළමුව මාවතගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යවා තිබෙන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, කුරුණෑගල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිසුවා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණා.
සිද්ධිය සැලවීමත් සමග විදෙස්ගතව සිටි මියගිය සිසුවාගේ මව මේ වන විට නිවසට පැමිණ තිබෙන අතර පොලීසිය පවසන්නේ, සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොළ කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.
