රජයේ නිවාසාධාරයේ නිවෙසක පිරිවැය ලක්ෂ 6කින් වැඩිවෙලා! රජයෙන් දෙන මුදල ලක්ෂ 4.5ක් වැඩිකරලා! සේවාලාභියා දැරූ වියදම ලක්ෂ 7.6 දක්වා වැඩිවෙලා!

රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ ව්‍යාපෘතියක් වන “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.

එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම් දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම/වැඩිදියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනැමනු ලබනවා.

තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු බවයි රජය පවසන්නේ.

වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/-ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000/-ක් දක්වා වැඩි වී තිබෙනවා.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබාදෙන රුපියල් 650,000/-ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000/-ක් දක්වා වැඩිකිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ අනුව, නිවෙසක් සඳහා වන පිරිවැය ලක්ෂ හයකින් වැඩිව ඇතත්, ඒ සඳහා රජයෙන් දෙන මුදල රුපියල් ලක්ෂ හතරහමාරකින් පමණක් වැඩිව තිබෙනවා. ඒ අනුව මෙම ආධාර ලබන සේවාලාභියාට තමන් අතින් දැරිය යුතු මුදල ලක්ෂ පහමාරක පමණ මුදලක සිට හත්ලක්ෂ හැටහතරදහසක් දක්වා පිරිවැය වැඩි වී තිබෙනවා.

Author

Related Posts