අනුරාධපුර රෝහලේ මහාචාර්ය ඒකකයේ දේශපාලන රැස්වීමක් තියලා

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ඉකුත් සිකුරාදා ( 18) රාත්‍රියේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ පිහිටා ඇති මහාචාර්ය ඒකකය තුළ දේශපාලන රැස්වීමක් පැවැත්වූ බවට විශ්වවිද්‍යාල ප්‍රජාව චෝදනා කරනවා.

එම රැස්වීම රාත්‍රී 9:15 ත් රාත්‍රී 11:15ත් අතර කාලසීමාව තුළ මහාචාර්ය ඒකකයේ විවේකාගාරය තුළ පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

මහාචාර්ය ඒකකයේ විවේකාගාරයේ ඉබි යතුරු දමා ඇති දොරටුව විවෘත කරදී ඇත්තේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වන විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් බවයි පැවසෙන්නේ.

මේ සාකච්ඡාවට වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් පහළොස් දෙනෙකු පමණ සහභාගී වී තිබෙන බවට වාර්තා වනවා

මේ චෝදනාව සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසීමට පිළිතුරු ලබා දෙමින්  වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පවසා තිබුණේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට ආණ්ඩුවේ තැනකට යන්න කාගෙන්වත් අවසර ලබා ගැනීම අවශ්‍ය දැයි යන්නයි.

එම ස්ථානයේ දේශපාලන රැස්වීමක් නොපැවැත්වූ බවත් රෝහල් ඇතුළේ දේශපාලන රැස්වීම් නොතියන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

තවද මෙසේ චෝදනා කරන්නේ කවුරුන් ද යන්න තමා විමසන බවත් මෙය සත්‍ය ද අසත්‍ය ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමට නම් සෘජුව චෝදනාකරුවෙකු ඉදිරිපත් වන ලෙසට ද අමාත්‍යවරයා අභියෝග කර සිටිනවා.

මෙතෙක් රජරට විශ්වවිද්‍යාල ආරම්භයේ සිට මේ දක්වා කාලසීමාව තුළ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කිසිදු දේශපාලනඥයකුට සාකච්ඡා පැවැත්වීමට ශිෂ්‍ය සංගම් මෙන් ම විශ්වවිද්‍යාල ප්‍රජාව ඉඩදී නැහැ.

මෙයට පෙර එක් අවස්ථාවකදී ශෂේන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයා නිල සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදීද විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් බැහැරව එම සාකච්ඡාව සිදු කිරීමට සිදුවුණා.

Author

Related Posts