සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් රුපියල් මිලියන 600කට අධික වටිනාකමින් යුත් ගිලන් රථ තොගයක් පාර්ලිමේන්තුව අසල පෞද්ගලික වාහන ආනයන රථ ගාලක දිරාපත් වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන බව දිවයින පුවත්පත වාර්තා කරනවා.
පසුගිය යහපාලන රජය සමයේදී මෙරටට ගෙන්වන ලද මෙම ගිලන් රථ රෝහල්වලට බෙදාදීමෙන් පසුව නඩත්තු කටයුතු සඳහා මෙම ස්ථානයට යොමුකර ඇතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අදාළ රෝහල් බලධාරීන් නිසි පරිදි ඇස්තමේන්තු අනුමත නොකිරීම හේතුවෙන් මෙලෙස අදාළ ගිලන් රථ අව්වැසිවලට නිරාවරණය වෙමින් දැඩි අබලන් තත්ත්වයට පත් වෙමින් පවතින බව වෛදවරයා චෝදනා කරනවා.
මෙම ස්ථානයේ පවතින ඇතැම් ගිලන් රථ අදාළ ස්ථානයේ මාස හයකට වැඩි කාලයක සිට පැවතියත්, මෙම ගිලන් රථ මෙම ස්ථානයට යොමු කරන ලද රියැදුරන් පවා රථ පිළිබඳව පසු විපරමක් හෝ කර නැති බවයි පැවසෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන අවභාවිතය අවමකිරීම සඳහා නඩත්තුව පවත්වාගෙන යෑම සහ කළමනාකරණය උදෙසා වාහන භාවිතය සම්බන්ධ තොරතුරු පද්ධතියක් තමන් විසින් 2019 වර්ෂයේදී හඳුන්වා දුන් නමුත් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් කැමැත්තක් නොදැක්වූ බවත් සඳහන් කර සිටින වෛද්‍ය චමල් සංජීව මහතා, එවන් ඩිජිටල් පද්ධතියක් හරහා මෙවැනි මුදල් අවභාවිතයන් අවම කිරීමට හැකිව තිබුණු බව පවසනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණය අසල පවතින පෞද්ගලික රථ ගාලක නිකරුණේ දිරාපත් වෙමින් පවතින ගිලන් රථ සම්බන්ධයෙන් සොයාබලා නිසි පරිපාලන තීරණ ගැනීමට වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අවධානය යොමු කරන්නේ නම් එය ජාතික ධනය අපතේ යෑම වැළැක්වීමක් වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.
