විදුලිබලේට පන්සල්වලින් තැබූ දාර පොලු මෙන්න! අයකරගන්නෑ විදුලිබලේ කියලා! අයකරගන්නැයි විගණකාධිපති කියලා!

විදුලිබල මණ්ඩලය ආගමික ස්ථානවලින් කෝටි 25.6ක ‍හිඟ විදුලි ගාස්තු අය කර නැතැයි, විගණකාධිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අදාලව නිකුත් කළ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලය එම මුදල් පිළිබඳ විමසීමේදී විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබුණේ, එම හිඟ මුදල් අය කර නොගන්නා බවයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023 වර්ෂයට අදාලව නිකුත් කර ඇති වාර්තාවේ මේ බව සඳහන් වෙයි. ඒ බව සඳහන් වෙන්නේ මෙසේය.

‘සමාලෝචිත වර්ෂය අවසානයේදී විදුලි සැපයීම වෙනුවෙන් පූජනීය ස්ථානවලින් රු. මිලියන 256.91ක් අයවිය යුතුව පැවතුණි. එයින් රු. මිලියන 70ක් වසර පහකට වැඩි කාලයක් තිස්සේ අය කර ගැනීමෙන් තොරව හිඟව පැවතුණි. තවද බෙදාහැරීමේ අංශය 1ට අදාලව වසර 5කට වැඩි කාලයක් තිස්සේ පූජනීය ස්ථානවලින් රු. මිලියන 42.5ක් අයවිය යුතුව පැවතුණි. තවද, හම්බන්තොට ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සම්බන්ධයෙන්, තාවකාලික සම්බන්ධතා සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් 2010 අප්‍රේල් 26 දින අතිරේක සාමාන්‍යාධිකාරී, (බෙදාහැරීම් අංශය 04) විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයට පටහැනිව ආරක්ෂක තැන්පතුවක් හෝ ඇස්තමේන්තුගත ගාස්තුවක් ලබා ගැනීමෙන් තොරව සමහර තාවකාලික සම්බන්ධතා ලබා දී තිබූ බව නිරීක්ෂණය විය.‘

සඳහන් වන ආකාරයට බෙදාහැරීම් අංශ 1 සිට 3 දක්වා දැනුම් දී ඇත්තේ ‘පූජනීය ස්ථානවලින් ලැබිය යුතු මුදල් කපාහැරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.‘ යනුවෙනි. ඒ අනුව එම ස්ථානවලට අදාලව කිසිදු පියවරක් නොගෙන සිටීමට විදුලිබල මණ්ඩලය තීන්දු කර ඇත.

බෙදාහැරීම් අංශ 04 විසින් අය කර නොගත් මුදල් පිළිබඳ දැනුම් දී ඇත්තේ මෙසේය. ‘2012 වසරේ සිට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 8.3ක් ලැබිය යුතු අතර අපි විසින් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට වෙන වෙනම අරමුදල් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, අමාත්‍යාංශ දෙකෙන්ම අපට කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැත. එබැවින්, මෙම මුදල අයකරගත නොහැකි බව කළමණාකාරීත්වය තීන්දු කර ඇති අතර ආගමික ස්ථානවලින් අය විය යුතු හිඟ මුදල් කපා හැරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇත.‘

මෙයින් පෙනී යන්නේ පූජනීය ස්ථාන විශාල වශයෙන් විදුලිබල මණ්ඩලයට මුදල් ගෙවී පැහැර හැරියත්, එයට අදාලව පියවර ගැනීමේ හැකියාවක් විදුලිබල මණ්ඩලයට නොමැති බවය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත්තේ ‘පූජනීය ස්ථානවලින් අය විය යුතු මුදල් අය කර ගැනීමට කඩිනම් සහ සාධාරණ අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතු අතර, කපාහැරීමේ තීරණ ගැනීමට පෙර නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇති බවට සහතික කළ යුතුය. තවද, අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශය 04) විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ ප්‍රකාරව ආරක්ෂක තැන්පතුවක් හෝ ඇස්තමේන්තුගත ගාස්තුවක් ලබා ගැනීමෙන් තොරව කිසිදු තාවකාලික සම්බන්ධතාවක් ලබා දී නොමැති බවට සහතික වීම‘ යනුවෙන් නිර්දේශ කර ඇත.   

Author

Related Posts