විවිධ කටයුතු ඉටු කර ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් අල්ලස් ඉල්ලා සිටින නිලධාරීන් කඩිනමින් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතනවල විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකය නමින් ඒ ඒ ආයතනවල විශේෂ ඒකක පිහිටුවීමට එලෙස තීන්දු කර තිබේ.
මේ බව ජනාධිපති ලේකම් කාර්යාලය චක්‍රලේඛයක් මගින් සියලු රාජ්‍ය ආයතනවලට මේ වන විට දැනුම් දී තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ආරම්භයක් වශයෙන් රජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ආරම්භ කරන බවත්, ප්‍රථමයෙන් රාජ්‍ය අයතනවල වන දූෂන ක්‍රියා වැළැක්වීමට මෙවැනි ඒකක ඇතැයි ජනතාව දැනුවත් කරන බවත් වාර්තා වෙයි. ඒ අනුව, යම්කිසි රාජ්‍ය ආයතනයකට රාජකාරියක් කරගැනීමට යන පුද්ගලයෙකුට දූෂණය, අකාර්යක්ෂමතාව වැනි ගැටලුවලට මුහුණදීමට සිදු වුවහොත්, එම රාජ්‍ය ආයතනයේම ඇති අභ්‍යන්තර කටයුතු ඒකකයට පැමිණිලි කිරීමට හැකියාව ලැබේ.
රාජ්‍ය ආයතන තුළ පිහිටුවන මෙම අභ්‍යන්තර කටයුතුව ඒකකවල ප්‍රගතිය මාස තුනකට වතාවක් අල්ලස් කොමිසම වෙත වාර්තා කළ යුතු අතර, එම ඒකකවලට පැමිණිලි කීයක් ලැබුණාද, එම පැමිණිල්ලට ගත් ක්‍රියාමාර්ග මොනවාද, තම ආයතනය තුළ අල්ලස් දූෂණ ක්‍රියා විය හැකි ස්ථාන හඳුනා ගත්තාද, එවැනි ක්‍රියා වැළැක්වීමට ඉදිරිපත් කරන යෝජනා මොනවාද යන්න ප්‍රගති වාර්තාවක් මාස 03කට වරක් අල්ලස් කොමිසමට දිය යුතු බවත්, එම වාර්තාව මත පදනම්ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගන්නා බවත්, අල්ලස් කොමිසමේ ආරංචිමාර්ග පවසයි.
මෙය සියලු අමාත්‍යාංශ, පළාත් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස් ස්ථාන, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රේගුව ඇතුළු සියලු රාජ්‍ය ඒකකවල පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.
