ආණ්ඩුව කල්මැරූ වැඩේ රවී කරලා! ඔන්ලයින් පනත අහෝසි කරන රවීගේ කෙටුම්පත ගැසට් කරලා!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

මෙම පනත් කෙටුම්පත 2025 අප්‍රේල් 04 දිනැතිව නිකුත් කර ඇති අතර, අප්‍රේල් 08 දිනැතිව ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

කෙටුම්පත වගන්ති හතරකින් සමන්විතය. පළමු වගන්තිය ලුහුඬු නාමය වන අතර, දෙවැනි වගන්තියෙහි සඳහන්ව ඇත්තේ මෙසේය.

‘2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මෙම පනත සම්මතවීමෙන් පසුව අවලංගු වන බව සැලකිය යුත්තේය.‘

‘මෙම පනත සම්මත වූ දින සිට 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත යටතේ සාදන ලද කිසියම් රෙගුලාසියක් වෙත් නම් එකී සියලු රෙගුලාසිද අහෝසි වන බව සැලකිය යුත්තේය.‘ යනුවෙන් තුන්වැනි වගන්තියේ සඳහන්ය.

සිව්වැනි වගන්තිය වන්නේ භාෂා අතර අනනුකූලතාවයක් ඇත්නම් සිංහලන භාෂා පාඨ බලපැවැත්විය යුතුය යන්නය.

ඒ අනුව මෙම කෙටි සහ සරල පනත් කෙටුම්පත, සාමාන්‍යයෙන් ඕනෑ පනත් කෙටුම්පතක ඇති වගන්ති දෙකකට අමතරව, තවත් වගන්ති දෙකක් පමණක් ඇතුළත් වූ කෙටි පනතකි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් මාස හයක් තිස්සේ කළ හැකිව තිබුණු මෙම ක්‍රියාව, මේ වෙද්දී ඔන්ලයින් පනත සම්මත කරගත් හිටපු ආණ්ඩුවේ නියෝජිතයෙකු විසින් සිදු කර ඇත.

තමන්ට ආණ්ඩුව තිබුණු සමයේ මේ මර්දන පනත සම්මත කරගැනීමට කටයුතු කළේ. තමන්ගේ ප්‍රතිවාදීන් මර්දනය පිණිස බව ඉතා පැහැදිලිය. පනතේ වගන්ති 51ක් ඇති අතර, ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් විරුද්ධ වූ පනත් කෙටුම්පත මෙය විය. පනතට එරෙහිව පෙත්සම් 50ක් ඉදිරිපත් වූ අතර දින තුනක් තිස්සේ පනතට එරෙහිව කරුණු දැක්වීමට ලංකාවේ ඉහළම නීති විශේෂඥයන් ඉදිරිපත් විය. වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරද ඒ අතර සිටී.

මෙම පනත සම්මත කරගත් අවස්ථාවේ එයට එරෙහිව වත්මන් ආණ්ඩු පක්ෂය මෙන්ම තවත් පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත් විය. පනත අහෝසි කරන බව එම අවස්ථාවේ විපක්ෂයේ සියලු දේශපාලන බලවේග පොරොන්දු විය.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස හයක් යනතුරු එම පනත අහෝසි කිරීම උදෙසා කෙටි පනත් කෙටුම්පතක් සම්මත කරගැනීම සිදු නොවීය. මේ වන විට එම පනත යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායකයා වූ රෝහණ විජේවීරගේ ඝාතනය පිළිබඳ කරුණු දැක්වීම එම ඝාතනයේ ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකරුට තහනම් කරමින් නියෝගයක් ලබාගෙන තිබේ.

Author

Related Posts