ෆාතිමා හාදියා චාරිකාවක් යද්දී පොලිස් පරීක්ෂාවට ලක් කරලා! චාරිකාව නවතා යළි ගෙදර යන්න සිදුවෙල!

ෆසීර් මොහොමඩ්/ තරිඳු උඩුවරගෙදර

ෆාතිමා හාදියා සිය දරුවන් ඇතුළු පවුලේ උදවිය සමඟ කොළඹ චාරිකාවක යමින් සිටියදී බොරැල්ල පොලීසිය ඔවුන් ගමන් කරමින් තිබුණු බස් රිය නවත්වා පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු එම චාරිකාව නවත්වා නැවත යෑමට සිදු වී තිබේ.

අප්‍රේල් 18 වැනිදා නාරම්මල කටුපොත පොලිස් වසමේ පදිංචිව සිටින ඇය සිය පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමඟ පැමිණි චාරිකාවකදී මෙයට මුහුණ දී තිබේ.

ෆාතිමා හාදියා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂ්මිගේ බිරිඳ වන අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාලව ඇයට කල්මුණේ මහාධිකරණයේ එක් නඩුවක් පවතී. එය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සාරා ජැස්මින් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා දීමට අසමත් වීම සම්බන්ධයෙනි. කෙසේ වෙත් එම නඩුවට අදාලව ඇය ඇප මත සිටින අතර, ඇයට මෙවැනි විනෝද චාරිකාවක යෙදීම සීමා කරමින් කිසිදු ගමනාගමන තහනමක් නොමැත.

පසුගිය වසරේදී ෆාතිමා හාදියාගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබුණු අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සැමරුම් මොහොතේ මීගමුවේ සිටීම මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. එයින් දින කිහිපයකට පෙර නිදහස් කිරීමට කටයුතු කර තිබුණි.

Author

Related Posts