සුළු වාරි මාර්ග සහ මහා වාරිමාර්ග ජලාශයන්හි පාලනය වන කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ පහක පමණ යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන්ට පොහොර සහනාධාර මුදල් මෙතෙක් ලබාදී නැතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා.
හුරුළු වැව, රාජාංගණය, පදවිය ඇතුළු මහා වාරිමාර්ග යටතේ පාලනය වන කුඹුරු වපුරා අවසන් බවත්, සුළු වාරි මාර්ග යටතේ වගා කෙරෙන කුඹුරු වලද මේ වන විට වගා කර අවසන් බවත්, මහවැලි ව්‍යාපාරය යටතේ පාලනය වන කුඹුරු ඉඩම් සඳහා මෙමස 20 වැනිදා ජලය නිකුත් කිරීමට නියමිත බවත් ඔහු පවසා සිටියා.
නැගෙනහිර පළාතේ මුළුමනින්ම වී වපුරා අවසන් අවසන් වී පැවතියද එම පොහොර සහනාධාර මුදල් මෙතෙක් ලැබී නැතැයිද, ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් තවමත් අයදුම්පත් පුරවන බවද සභාපතිවරයා පැවසුවා.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා කියා සිටියේ යල කන්නයට අදාළව ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා පොහොර සහනාධාරය ලබාදීමට අය වැයෙන් මුදල් වෙන්කර තිබෙන බවයි.
යල කන්නයට පෙර වී වගා කරන ගොවීන් හඳුනාගැනීම සිදු කෙරෙන බවත්,එම ලැයිස්තුද යාවත්කාලීන කෙරෙන බවද ලේකම්වරයා පවසනවා.
පොහොර සහණාධාරය අඛණ්ඩව ලබා දෙන බවත්,අවුරුදු නිවාඩුවත් සමග සුළු ප්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු සඳහන් කළා.
හෙක්ටයාර් එකකට රුපියල් 25,000 ක සහනාධාර මුදලක් ලබාදෙන බවත්,කුඹුරු හෙක්ටයාර් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක ගොවීන්ට අදාළ පොහොර සහනාධාරය ලබාදෙන බවද ඔහු පැවසුවා.
