අනුර මැතිවරණ නීති කැඩුවද? ටිරාන්ගේ පත්තරේ පළවූ ප්‍රවෘත්තිය බොරුද? ඇත්ත කතාව මෙන්න!

ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලියුමක් යවා ඇතැයි මව්බිම පුවත්පතේ පළ වූ පුවත සාවද්‍ය පුවතක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. 

එවැනි ලිපියක් සකස් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග අපට තහවුරු කළ නමුත්, එම ලිපිය මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර නොමැති බව අප කළ විමසීම්වලදී මැතිවරණ කොමිසමේ ඉහළම නිලධාරියෙකු ප්‍රකාශ කළා.

මේ සිදුවීමට පාදක වී තිබුණේ,   රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාරගේ අත්සනින් යුතුව අප්‍රේල් 17 වැනිදා නිකුත් කළ නිවේදනයක්. එම නිවේදනයේ සඳහන් වන්නේ  ‘නොනිදන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි රැසක්- මැතිවරණ නීති කඩන කතා එපා- මැ.කො. ජනපතිට ලියයි‘ යනුවෙන් එදින මව්බිම පුවත්පතේ පළ වූ ප්‍රධාන පුවත සාවද්‍ය පුවතක් බව නිරීක්ෂණය වූ බව.

අදාල සියලු පාර්ශ්වයන් කළ විමසීම්වලදී මෙබඳු ලිපියක් නිකුත් නොවූ බව පැහැදිලි වන බැවින් මෙම පුවත නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉල්ලා සිටින බව රජයේ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එහෙත්, එම නිවේදනය පිළිබඳ අප කළ විමසීම්වලදී තහවුරු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලය තවමත් යොමු නොකළත්, එවැනි ලිපියක් සකස් කර තිබෙන බව. එමෙන්ම, ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කර ඇතැයි මැතිවරණ කොමිසම තීන්දු කර තිබෙනවා.

මීට පාදක වී තිබෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක කන්තලේ පැවති රැළියකදී අප්‍රේල් 12 වැනිදා සිදුකළ ප්‍රකාශයක්.

අප්‍රේල් 12 වැනිදා කන්තලේ පැවති රැළියකදී ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය පහතින්,

“අපි නොවැම්බර් මාසෙදී යළි අයවැයක් ගේනවා. ජුනි මාසය වෙද්දී ඒකට යෝජනා ගන්නවා. එතකොට ප්‍රාදේශීය සභාව මොකද කරන්න ඕනා. මෙන්න කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම – මෙන්න තියෙන වැඩ. බලපුවාම මොකද වෙන්නෙ. ආදායම මදි, කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනෙ, මහ ආණ්ඩුවෙ ඉල්ලනවා මේ වැඩ ටික කරන්න. අපි ඒක මහ ආණ්ඩුවෙන් දෙන්නම්.

අපි යෝජනාව අතට ගන්නවා. මුදල් අමාත්‍යාංශයනෙ. යෝජනාව අතට අරන් බලනවා, යෝජනාව ඇවිල්ලා තියෙන්නෙ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන්. ඊළඟට බලනවා එවලා තියෙන්නෙ කවුද. කන්තලේ ප්‍රාදේශීය සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ, එහෙනම් ඇස් පියාගෙන යෝජනාව අනුමත කරලා සල්ලි ලබාදෙනවා. ඊළඟ අපි බලනවා, නෑ ප්‍රාදේශීය සභාව වෙන කාටදෝ ගිහිල්ලා. ඒගොල්ලො තමයි එවලා තියෙන්නෙ. මොකද කරන්නෙ, දහ සැරයක් බලනවා. ඇයි  දන්නවානෙ හිටපු කට්ටිය කොහොමද හැදුවෙ, පාරට කොන්ක්‍රීට් ටිකයි, වැඩිපුර සාක්කුවට. ගියෙ නැද්ද?

එහෙම නම් සල්ලි දෙන්නෙ නෑ. හොරකම් කරන්න සල්ලි දෙන්න ඕනෙද එහෙම නම් නෑ, මතක තියාගන්න. එහෙම නම් එවන්න ඕනෙ කවුද ජාතික ජන බලවේගයට තමයි මේ ප්‍රාදේශීය සභා සියල්ලේම බලය ලබාදෙන්න ඕනෙකම තියෙන්නෙ මේ සැරේ. නැත්නම් වැඩක් නෑ. එහෙම නැත්නම් මොකක්ද වෙන්නෙ. කොන් වුණු ප්‍රාදේශීය සභා. මහ ආණ්ඩුව කරන වැඩවලට කකුලෙන් අදින ප්‍රාදේශීය සභා. එහෙම හරියන්නෙ නැහැ.”

කෙසේවෙතත් ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට පළාත් පාලන මැතිවරණයේදී බලය හිමි නොවන ආයතනවලට මුදල් ප්‍රතිපාදන නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැමිණිලි කර තිබුණා.

එම ප්‍රකාශයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණ යක් බව එම සංවිධාන පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා සාමාන්‍ය මන්ත්‍රිවරයෙකු නොවන අතර මුදල් පැවැරුම් සම්බන්ධයෙන් තීරණය කෙරෙන පරිදි බලය ඇත්තේ ඔහු වෙත බවත් එම නිසා මෙවැනි ප්‍රකාශ වඩාත්ම නීති විරෝධී ජාතික මට්ටමේ බලපෑමක් ඇති කරන බවත් එම පැමිණිල්ලෙහි  දක්වා තිබුණා.

ඒ අනුව මැතිවරණ කොමිසම එම ප්‍රකාශයට අදාලව ලිපියක් සකස් කිරීමට පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත් 17 දින මව්බිම ප්‍රධාන පුවත ලෙස අදාල පුවත පළ වූ පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැතිවරණ කොමිසම අමතා, එවැනි ලිපියක් තමන්ට ලැබී නොමැති බව කියා තිබුණා. සිදුවීම පිළිබඳ අපැහැදිලි තත්වයක් නිර්මාණය වී තිබුණේ ඒ අනුවයි.

කෙසේ වෙතත්, මෙවැනි ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයට නොලැබුනේය යන පදනම මත, උක්ත ලිපිය පිළිබඳත් ජනාධිතිවරයාගේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම පිළිබඳත් මව්බිම පුවත්පත පළ කළ සම්පූර්ණ පුවත සාවද්‍ය පුවතක් බව රජය නිවේදනය කර තිබෙනවා.

Author

Related Posts