පුංචි මාලදිවයිනෙන් ඍජු තීන්දුවක්! ජන සංහාරයට විරෝධය පාමින් ඊශ්‍රායල් සංචාරකයන්ට රට වසා දමයි

සංචාරක කර්මාන්තයෙන් යැපෙන ඉතා කුඩා රාජ්‍යයක් වන මාලදිවයින ඍජු තීන්දුවක් ගනිමින්, ඊශ්‍රායල් සංචාරකයන්ට රට වසා තිබේ.

මාලදිවයිනේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායෙල් සහ හමාස් අතර පවතින යුද්ධයේදී සිදුව ඇති ජන සංහාරයන් හේතුවෙන් ඊශ්‍රායෙල් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කර ඇති බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් අනුමත කරන ලද මාලදිවයින ආගමන විගමන පනතට කරන ලද සංශෝධනය මගින් ඊශ්‍රායෙල් ජාතිකයින් තහනම් කර ඇති බව එම නිවේදනයේ දැක්වෙයි. “පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායෙල් විසින් සිදු කරනු ලබන අඛණ්ඩ කුරිරු ක්‍රියා සහ ජන සංහාරයන්ට එරෙහිව රජයේ දැඩි ස්ථාවරය පිළිබිඹු කිරීමක්” වශයෙන් එම ඍජු තීන්දුව හඳුන්වා තිබේ.

“පලස්තීනය සමඟ මාලදිවයින සිය නොසැලෙන සහයෝගීතාවය සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ඇති නොනවතින කැපවීම යළි අවධාරණය කරන්නෙමු” යනුවෙන් ජනාධිපති කාර්යාලය ප්‍රකාශයේ සටහන් කර ඇත. “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා මාලදිවයින දිගටම පෙනී සිටින අතර ඊශ්‍රායෙල් ක්‍රියා හෙළා දකිමින් ජාත්‍යන්තර වේදිකාවල සිය හඬ අවදි කරන්නෙමු.” යනුවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Author

Related Posts