දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව හිරු ප්රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කරනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව තහවුරු කර ඇතැයි එම වෙබ් අඩවිය කියනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, දැනට අත්අඩංගුවේ සිටින සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට අවස්ථාව දෙන ලෙසට පසුගිය 9 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේවෙතත් අදාළ ඉල්ලීමට අවස්ථාවක් නොදුන් බවත්, එලෙස රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබෙනවා.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට අවස්ථාව දුන් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබෙනවා.
අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සිවනේෂතුරෙය් චන්ද්‍රකාන්තන්ගේ නීතිඥවරයා ලෙස උදය ගම්මන්පිල කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීමට අවස්ථාව දුන් බවයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැර ගැණුනු අතර එම අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්.
එම අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.
පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනුණේ එම සිදුවීමෙන් වසර 19කට පමණ පසු ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
