පොලීසිය කොටහේනේදී වෙඩි තබා තිබෙන්නේ ගැබිණි මවක් සහ තවත් කාන්තාවක සිටින වාහනයක් නැවැත්වීමට බව වාර්තා වෙනවා.
කොටහේන ප්‍රදේශයේ දී අප්‍රේල් 12 වැනිදා සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විසින්ම නිකුත් කළ තොරතුරුවලින් මේ බව හෙළිව තිබෙනවා.
පොලීසිය අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණු බව 12 වැනිදා රාත්‍රියේ සිදුවීමක් වාර්තා වුණා.
මෙම මෝටර් රථයට වෙඩි තැබූ අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් එය කොල්ලකා පලා යමින් සිටි බව පොලීසිය පවසනවා.
කෙසේ වෙතත්, පොලීසිය නිකුත් කළ තොරතරු අනුව, 12 වැනිදා රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ වාසල පාර, කොටහේන වීදිය ප්‍රදේශයේදී තම ගැබිණි බිරිඳ හා මව සමඟ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෝටර් රථයේ එන්ජිම පණගන්වා තිබියදී ආහාර මිලදී ගැනීම සඳහා මෝටර් රථයෙන් බැස කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ දී සැකකරු විසින් රියදුරුගේ බිරිඳ හා මව කාර් රථය තුල සිටියදීම පණගන්වා තිබූ කාර් රථය කොල්ලකා පලා ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී විමර්ශන කටයුත්තක් සඳහා කැබ් රථයකින් කොටහේන පොලිස් වසමට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට මෙම මෝටර් රථය කොල්ලකෑම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී පලා යමින් තිබූ කාර් රථය පසුපස ලුහුබැඳ ගොස් එය නැවත්වීමට සංඥා කර තිබෙනවා.
නමුත් සැකකරු විසින් පොලිස් අණ නොතකා තවදුරටත් මෝටර් රථය ධාවනය කිරීමේදී එය නැවැත්වීමට යොදාගෙන ඇත්තේ, ගැබිණි මව සහ අනෙක් කාන්තාව අවදානමට ලක් වෙන ක්‍රියාමාර්ගයක්. ඒ, ධාවනය වෙන රථයට වෙඩි තැබීම. ධාවනය වෙන රථවලට වෙඩි තැබීමේ අවස්ථා රැසක් මීට පෙරද වාර්තා වූ අතර පොලිසිය මෙලෙස වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කළ අවස්ථාද පවතිනවා. පොලිස් නිලධාරින් විසින් රාජකාරි පිස්තෝල අවියකින් වෙඩි පහරවල් දෙකක් තබා ඇති අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී කාර් රථය නතර කර ගැනීමට සමත්වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ, නිලධාරින් කාර් රථය අසලට යන අවස්ථාවේදී සැකකරු මෝටර් රථයෙන් බැස පලාගොස් ඇති අතර කාර් රථය තුල සිටි කාන්තාවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නැහැ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
