රනිල්ලා කරේ තියං ගිය හේවගේගේ කතාව! කවුරුත්ම නොකියන දේ!

නලින් හේවගේ මැතිවරණ වේදිකාවේදී ලංකාවේ ආර්ථිකය ගැන කියපු දැවැන්ත සාවද්‍ය ප්‍රකාශයක් නිසා, ලොකු දේශපාලන සංවාදයක් ඇති වුණා. මේ ගැන කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විමසුවාම අමාත්‍ය නලින්ද ජයතිස්ස සැබෑ දත්ත ඉදිරිපත් කළා. වත්මන් සංචිත ප්‍රමාණය ගැන. නලින්ද ජයතිස්ස දුන් පිළිතුර උපායශීලී, කාර්යක්ෂම සහ ආණ්ඩුවක් විදියට දෙන්න පුළුවන් බුද්ධිමත් පිළිතුරක් බව ඇත්ත. නියෝජ්‍ය ඇමතිවරයෙක් කිව්ව කතාවක් ගැන සැකයක් තියෙනවා නම්, ඇත්තටම කරන්න ඕනෑ ඒ සැකය නිවැරදි කරන්න සැබෑ දත්ත ඉදිරිපත් කිරීමයි. ඉතින්, ඒ අතින් නලින්ද ජයතිස්ස ඇමතිවරයාට මල් මිටක් දෙමු.

එකම දේ තියෙන්නේ, නලින්ද ජයතිස්ස දත්ත ටික කිව්වාම පැහැදිලි වෙන්නේ මෙච්චරයි. 2024 සැප්තැම්බර් ආණ්ඩුව ගනිද්දී සංචිත 5.99ක් හෙවත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන හයක් තිබුණාය කියලා. ඒක මාස හයට වැඩි වෙලා තියෙන්නේ ඩොලර් බිලියන එකකටත් අඩු සංඛ්‍යාවකින් පමණක් කියලා. දැන් කට්ටියක් මෙතැන රනිල් තමයි ආර්ථිකය හදලා තියෙන්නේ බොලං, මුං කිසිදෙයක් කළේ නෑ කියලා පොළොවේ පස් කනවා ඔය කතාව අල්ලං. බොහෝවිට රනිල්ට විරුද්ධව කතා කරපු ලිබරල් මිතුරු මිතුරියන් පවා ඔය ටික කියනවා. හත්දෙයියනේ එස්එල් ව්ලොග් එකෙත් ඔය කතාව කියලා තිබුණානේ.

දීපංකො උත්තර ඒකට..

ඒත්…. ඒත්…. ඒත්….. ඇත්තටම ඒකට උත්තර දෙන්න කලින් නලින් හේවගේගේ කතාව අපේ පැත්තෙන් පොඩ්ඩක් විමසමු.

සැබෑ ප්‍රශ්නය වත්මන් සංචිත ප්‍රමාණය ගැන දත්ත නෙවෙයි. ඔය සාමාන්‍ය එදිනෙදා මිනිස්සු ඔය දත්ත බලන්නේත් නෑ. නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මැතිවරණ වේදිකාවක කිව්ව ඒ කතාව දේශපාලන වශයෙන් රාමුගත වෙන්නේ කොතැනද? ඔහු ගෙනාපු තර්කය මොකක්ද? ඒක අපි ටිකක් ව්‍යවච්ඡේදනය කරලා බලන්න වෙනවා. ඇත්තටම මෙතැන අර්බුදය ලංකාවේ සංචිත ප්‍රමාණය ගැන ඇත්තම දත්ත මිනිස්සුන්ට කිව්වාද නැද්ද කියන එක නෙවෙයි. නලින් හේවගේ ඇත්ත දත්ත කිව්වත්, බොරු දත්ත කිව්වත් ඔහු මෙතැන ඉදිරිපත් කරන දේශපාලන තර්කයයි අපේ සංවාදයට බඳුන් විය යුත්තේ.

ඔහු දේශපාලන වේදිකාවේ, ඉතා පැහැදිලි සිංහලෙන් ඔහුම කීව විදියට මිනිස්සුන්ගෙ අත්පොළොසන් බලපොරොත්තු වෙමින් කියා තිබුණේ මොකක්ද?

ඔහු මෙහෙම කිව්වා.

‘අපි ගත්තේ කේතුමතී පුරවරයක් නෙවෙයි. ඩොලර් මිලියන විස්සක් නැතිව නැව් හරවලා ගියා. පෝළිමේ මැරුණා. 2022 අප්‍රේල් බංකොළොත් වුණ රටක්. විනාස කරපු රටක්. පාස්කු ප්‍රහාරය කරලා ඝාතනය කරපු රටක්. පාතාලය පෝෂණය කරලා විනාස කරපු රටක් දලා ගියේ. මහා පල්ලමකට බස් එකක් කඩා වැටෙනකොට, මිනිස්සු විලාප ගහනකොට කවුරුහරි රියදුරු අසුනේ වාඩි වෙනවාද? වාඩි වෙන්නේ නෑ. ඒකෙ වාඩිවෙන්න පුළුවන් දැක්මක් සහිත මිනිස්සුන්ට පමණයි ප්‍රපාතයට කඩාවැටෙන වාහනයක සීට් එකේ වාඩි වුණේ අනුර කුමාර සහෝදරයා. වාඩි වුණේ නැත්නම් බස් එක ලිස්සලා යනවා.

අපි පටන් ගත්තේ කොතැනින්ද? ඉස්සෙල්ලාම බිඳවැටිච්ච ආර්ථිකය හදාගන්න ඕනෑ. අපට ගොඩක් අවලාද නැගුණා. ජාත්‍යන්තර සබඳතා යයි. රුපියල හාරපන්සීය වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යයි. අවසන් පෝය බවට පත්වෙයි. දළඳා පෙරහැර නැතිවෙයි. අවලාද ගොඩයි. අපි මුලින්ම කළේ ස්ථාවරත්වය හදන්න. අපි කරපු සුළු වැරදීමකින් බරපතල අර්බුදයක් වෙන්න තිබුණා.‘

ඔය කතා ටිකෙන් පස්සේයි ඒ තීරණාත්මක වාක්‍ය්‍ය කියන්නේ.

“සමහර කට්ටියට දැන් තදියම් වෙලා තියෙනවා. ආණ්ඩුව හැදුවෙ නොවැම්බර් 21, අදට මාස 4යි දින 14යි. හැබැයි අපට සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දැවැන්ත අඩි තියලා හොඳ ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා මේ මාස හතරට විතරක්. අපි එනකොට භාණ්ඩාගාරයේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතිව තිබුණේ. දැන් අම්මාපල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190 ක්. ගහපු අප්පුඩිය නම් සැර මදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6190ක් ගත්තට පස්සෙ නිකම් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන්න ගහන්න එපැයි හත් ඉලව්වේ ගාල්ලෙ අපි අප්පුඩියක්”

ඇත්තට ඉතින්, එහෙම දේකට ලොකු අත්පොළොසමක් ඕනෑ තමයි. කණගාටුවට කරුණ එහෙම දෙයක් වී තිබුණේ නෑ.

එහෙත් ජාතික ජන බලවේගය බලයට ආ 2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මෙරට සතුව ඇති සංචිත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිල වශයෙන් ඉදිරිපත් කර ඇති දත්ත අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ දත්ත මෙහෙමයි.

 2024 සැප්තැම්බර්: ඩොලර් බිලියන 5.99

⁠ 2024 ඔක්තෝබර්: ඩොලර් බිලියන 6.47

⁠ 2024 නොවැම්බර්: ඩොලර් බිලියන 6.45

⁠ 2024 දෙසැම්බර්: ඩොලර් බිලියන 6.12

⁠ 2025 ජනවාරි: ඩොලර් බිලියන 6.06

⁠ 2025 පෙබරවාරි: ඩොලර් බිලියන 6.08

මෙම දත්ත මහබැංකුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන බවත් යම් වරදක් සිදුව ඇතිනම් මෙම සංඛ්‍යාලේඛන පිළිගන්නා ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් කීවා.

එතකොට දැන් බරපතල ප්‍රශ්නයක් පැනනගිනවා. රනිල් වික්‍රමසිංහලාගේ කට්ටිය උඩ දාගෙන ඇවිත් දැන් මේ ෆ්‍රී හිට් එකට හයේ පාරවල් ගහනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංචිත කවදාවත් මිලියන 20 තරම් දුර්වල වුණේ නැහැ. මොකද, ඔය බිලියන හයකට ආසන්න සංචිත ප්‍රමාණයෙහි චීනයෙන් ලැබුණු මූල්‍ය හුවමාරු ගිවිසුමේ මුදලත් තියෙනවා. ඒක පාවිච්චි කරන්න බැරි මුදලක්. ඒක ගල්වෙලා තියෙන එකක්. ඒ නිසාම අපේ ආර්ථික විද්වතුන් බොහෝ විට සංචිත ප්‍රමාණය ගණනය කරද්දී ඩොලර් බිලියන 4-5 තමයි ගණන විදියට සලකන්නේ. මෙය ඉතාම දුර්වල සංචිත ප්‍රමාණයක්.

සංචිත වැඩි කර ගැනීමට නම් අපනයන ආදායම් වැඩි කරගන්න ඕනෑ. අපනයන ආදායම වැඩි කරන්න නම් රටේ කර්මාන්තවල දියුණුවක් වෙන්නත් ඕනෑ. සේවාවල දියුණුවකුත් වෙන්න ඕනෑ බව ඇත්ත. ඒත්, අනිවාර්ය‍යෙන්ම කර්මාන්ත සංවර්ධනයක් ඕනෑ.

විශේෂයෙන් ඩොලර් බිලියන 4-5 කියන්නේ කිසිසේත්ම ස්ථාවරභාවයක් නෙවෙයි. මේක අවුරුද්දකට නෙවෙයි, මාස හයකටවත් අපට අවශ්‍ය වියදම නෙවෙයි. අපේ ආනයන- අපනයන පරතරය හෙවත් අපෙන් යන ඩොලර් සහ අපට එන ඩොලර් අතර වෙනසත් ඉතාම දුර්වල තැනක තියෙන්නේ. ඒ නිසාම ඇත්තම කතාව අපේ ආර්ථිකය ස්ථාවර නෑ. ස්ථාවර කියා හිතන්නෙත් නෑ. ඒකට අප වැනි අයගේ වචන වෙනුවට යම් කෙනෙකු බලන්න ඕනෑ සාමාන්‍යයෙන් බටහිර මූල්‍ය ලෝකය විසින්ම පිළිගන්නා ෆිච්, එස්ඇන්ඩ්පී, මූඩීස් වැනි රේටින්ස් ආයතන විසින් ලංකාවට ලබා දී තිබෙන රේටින් කොපමණද කියායි. ඒ රේටින්ස්වලට අදාල ඩිස්ක්‍රිප්ෂන් කියවා බලන්න. ලංකාව තවම ඉන්නේ දැඩි අවදානම් ආර්ථිකයක.

එහෙම පසුබිමක ආර්ථිකය ‘ස්ථාවර වුණා‘ කියන එකත්, ඔය සංචිත ඩොලර් බිලියන හයට වහළ උඩ යන්න අත්පුඩි ගහන්න කියන එකත්, මේ සියල්ල රනිල් වික්‍රමසිංහලා විසින් තමන්ගේ ප්‍රචාරණය වෙනුවෙන් හදපු අදහස් පද්ධති. අපි අපේ සංචිත දිහා බලලා කරන්න ඕනෑ දුක්වෙන එක, කම්පා වෙන එක ආණ්ඩුව පොරොන්දු වෙන්න ඕනෑ මෙන්න මේ විදියේ වර්ධන සැලැස්මකින් අපි මේ තත්වයෙන් ගොඩ එනවා කියලයි.

ඉතින්, මෙන්න මේකයි ආණ්ඩුව ආරක්ෂා විය යුතු තත්වය. ආණ්ඩුව තමන්ගේ තර්කනය, තමන්ගේ ප්‍රවාද, තමන් විසින් සමාජගත කරන අදහස්වලදී ඉතාම ප්‍රවේශම් විය යුතුයි. ඒවා ආණ්ඩුවේ නායකයන් අතර යම්කිසි විදියකට දිගින් දිගටම සාකච්ඡාවට ලක් විය යුතුයි. ආණ්ඩුවට අන් සියල්ලට වඩා ඉහළින් ඇති ශක්තිය අන් කිසිවක් නෙවෙයි. ආණ්ඩුවේ ශක්තිය විනය. ආණ්ඩුව මතවාදීවත්, දෘෂ්ඨිවාදීවත් විනයක් තබාගත යුතුයි ක්‍රමක්‍රමයෙන් තමන්ගේ අදහස් පද්ධති ඔක්කොම තමන් විසින්ම පරාජය කළ ප්‍රතිවාදීන්ගේ මතවාද බවට පත් වීමෙන් වැළකීමට.

මතක තබාගන්න! නාමල් රාජපක්ෂ දැන් දුර්වලයි. දෙකහමාරට වැටිලා ඉන්නේ. රනිල් දුර්වලයි. සජබය විතරක් විපක්ෂය විදියට ඉන්නවා. නමුත්, ආණ්ඩුවට අභියෝග කළ හැකි තැනක නෙවෙයි.

ඒත්, ඒ බලවේග විසින් අනුදැක්ක අදහස්, ප්‍රතිපත්ති, සංකල්ප මේ ආණ්ඩුව සුරක්ෂිතව පවත්වාගෙන යන්නේ නම් ඇත්තටම ඊළඟට ඒ බලවේගවලට බලයට පත්වීම ලෙහෙසියි. රාජපක්ෂලාගේ, රනිල්ලාගේ මතවාද සංරක්ෂණය කරලා ඒ අදහස් පිළිගන්නා සමාජයක් වහළවල් උඩ යන්න අත්පොළොසන් ලබමින් පවත්වාගෙන ගියොත් දැන් කොපමණ පහළට වැටුණත් ලෙහෙසියෙන් ඔවුන් බලයට පත් වේවි. නැත්නම් ඔවුන්ටත් වඩා ප්‍රතිගාමී බලවේග ඒවි.

Author

Related Posts