ඊශ්රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට ත්රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා නිදහස් කර තිබෙනවා.
ඒ, ඔහු අද(07) අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙක් පසුගිය මාර්තු 22 වන දා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉකුත්දා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ස්ටිකර් ඇලවීම සම්බන්ධව ලද තොරතුරක් මත පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි.
එම විමර්ශනයේදී මෙම ක්රියාව සිදු කරන ලද තරුණයා සම්බන්ධව හෙළිදරව් වූ තොරතුරු අනුව, ඔහු හුදෙක්ම ස්ටිකරයක් ඇලවීමේ ක්රියාවෙන් ඔබ්බට වු යම් දැඩි මතධාරියෙකු බවට අනාවරණය වීම සහ විමර්ශනයේදී අනාවරණය වූ සෙසු වැදගත් තොරතුරු වලට ද අනුව, යම් ආකාරයකින් ත්රස්තවාදී ක්රියාවක් කිරීමට ප්රවේදීතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය සඳහන් කළා.
මොහු අන්තර්ජාලය භාවිතා කරමින් සහ වෙනත් ක්රමවේද උපයෝගී කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්රේරණයකට ලක්වී ඇති පුද්ගලයකු බවට නිරීක්ෂණය වී ඇති බැවින්, එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදී ක්රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්රවේදීතාවය පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරන බවද පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
