අනුරාධපුර නුවර වැවේ බැම්ම අවධානම් මට්ටමක

වසර සිය ගණනකින් ප්‍රතිසංස්කරණය කර නැති අනුරාධපුර නුවර වැව් බැම්ම මතින් වාහන ගමන් කළහොත් විශාල හානියක් වීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පවසා තිබෙනවා.

වසර දහස් ගණනක් ඉපැරණි වැව් බැම්ම එවැනි දෙයකට දරාගත හැකි ද යන්න ප්‍රශ්නකාරී බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසනවා.

සංචාරක කර්මාන්තය සඳහා නුවර වැව් බැම්ම යොදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් ද යන්න ගැන මෙහිදී බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු යැයි ඔහු අවධාරණය කළා.

සංචාරක කර්මාන්තය මූලික කරගෙන අනුරාධපුරයේ නුවර වැවේ වැව් බැම්ම වාහන ගමනාගමනයට විවෘත කිරීම ගැන විවාදාත්මක තත්ත්වයක් වාර්තා වූයේ පසුගිය මාර්තු 27 වන දා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී යි.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ හා කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා අතර එහිදී උණුසුම් සංවාදයක් හටගෙන තිබුණා.

නිශ්චිතව හඳුනාගත් තාක්ෂණික කාරණයක් නොමැති නම් වැව් බැම්ම වසා තැබීම නොකළ යුතු බවට තමා පසුගිය කමිටුවේදී කළ අවධාරණය ගැන ඇමති වසන්ත සමරසිංහ එහිදී විමසා සිටි අතර බයිසිකල්වලින් හෝ පයින් යෑමට මිස වැව් බැම්ම සෙසු වාහන සඳහා විවෘත නොකළ යුතු බවට වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇති බව එහිදී කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීය.

Author

Related Posts