හුලංගමුව ඉවත් කරන්න:සංවිධාන රැසකින් අනුරට ලියුමක්

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සඳහා එහි වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම සම්බන්ධයෙන් වැරැදිකරු වූ ‘අර්නස්ට් ඇන්ඩ් යංග්’ විගණන සමාගමේ මෙරට කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන අතර ජනාධිපති උපදේශක තනතුර ද දැරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි බරපතළ ගණයේ ලැදියාවන් අතර ගැටුමක් නිර්මාණය වීම මත මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සංවිධාන පවසනවා.

මේ අතර, දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්කරනු ලැබීමට නියමිත බවට වාර්තා පළවෙමින් ඇතැයි ද ආර්ථික තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සිවිල් සේවයේ ප්‍රබල තනතුරක් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඔහුව පත්කරනු ලැබුවහොත් පෞද්ගලික අංශය කෙරෙහි තිබෙන රාජ්‍ය අධීක්ෂණය ඉවත් වී ශ්‍රී ලංකාවේ මහ ජනතාවට වඩා වැඩි අනිසි වාසියක් පෞද්ගලික අංශයට ලබා දීමට හේතුවන ලැදියාවන් අතර ගැටුමක් තවත් වටයකින් නිර්මාණය කරනු ඇතැයි ද එම සංවිධාන පවසා සිටියා.

විගණකාධිපතිවරයා හෙලිදරව් කළ ආකාරයට පෞද්ගලික අංශයේ 2022 වර්ෂයේදී රුපියල් බිලියන 904ක් වූ හිඟ බදු ප්‍රමාණය 2023 වර්ෂයේදී රුපියල් බිලියන 1,066ක් දක්වා ඉහළ යද්දී එම වර්ෂවල සුරාබදු සහ දුම්කොළ යන අංශවල හිඟ බදු ප්‍රමාණය පිළිවෙළින් රුපියල් බිලියන 5.56 සිට රුපියල් බිලියන 7.27 දක්වා ඉහළ ගොස් ඇතැයි එම ලිපියේ දැක්වෙනවා.

2023 වර්ෂයේ වාර්ෂික වාර්තාවට අනුව 2023 දෙසැම්බර් 31 වන විට වැට් බදු හිඟ මුදල් සහ පනවන ලද දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 455ක් වී යැයි ද අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුට අධික වියදම හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිභෝජනය පවා අත්හැරීමට සිදුවී තිබෙන තත්ත්වයක් තුළ පෞද්ගලික අංශය එම ජනතාව අධික බරක් දරමින් ගෙවන වැට් බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී ලෙස තබාගැනීමක් මෙමඟින් සිදුව ඇතැයි ද එහි චෝදනා කර තිබෙනවා.

Author

Related Posts