සතොස විකිණීමට රනිල් ගත් තීන්දුව හරවයි!

තරිඳු උඩුවරගෙදර
රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඈවර කිරීමට තීන්දු කොට දේපළ විකුණා දැමීමට ලක් කළ සමුපකාර තොග වෙළඳ සංස්ථාව යළි සක්‍රීය කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.
සමූපකාර තොග වෙළඳ සංස්ථාව රජය සතු ගබඩා පහසුකම් සහ බෙදාහැරීමේ පහසුකම් සහිත ආයතනයකි. එය සතුව විශාල ගබඩා පහසුකම් ප්‍රමාණයක්, වාහන, දේපළ මෙන්ම පැයට සහල් කිලෝග්‍රෑම් 2000ක් සැකසිය හැකි හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහල් සැකසීමේ සංකීර්ණ දෙක පැවතුණි. ඒවායෙන් ප්‍රයෝජන නොගත් අතර, ඒවා සතොස සමාගම ඈවර කිරීමට පෙර සිටම අක්‍රිය වී පැවතුණි.
එම පහසුකම් පාවිච්චි කරමින් කාර්යභාරයක් රැසක් කරමින් සමුපකාර තොග වෙළඳ සංස්ථාව සක්‍රිය කිරීමට තීන්දු කළ බව කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස කීය.
‘මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ආදායම් ඉහළ නැංවීම, සැපයුම් කර්යක්ෂම කිරීම, නිෂ්පාදන හා පිරිසැකසුම්, දේපළ කුලියට දීම, සහල් මෝල්, විනනෝදාස්වාද, කෘෂිකර්ම, තොග වෙළඳාම් ආදී තේමාවල් කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා හඳුනාගෙන සතෙස සක්‍රිය කිරීමට තමයි කැබිනට් මණ්ඩල තීන්දුව තියෙන්නේ.‘ යනුවෙන් ඔහු කීය.
කැබිනට් තීන්දුව පිළිබඳ රජයේ මාධ්‍ය නිවේදනයෙහි මෙසේ සඳහන්ය.
‘1949 අංක 47 දරණ සමූපකාර තොග වෙළඳ සංස්ථා පනත පරිච්ඡින්න කර එම ආයතනය ඈවර කිරීමට 2024 සැප්තැම්බර් 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එහෙත්, පොහොසත් රටක් ලස්සන ජීවිතක් ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළඳපොළ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මගින් මහජනතාව වෙතගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළඳපෙළ මෙහෙයුම් තුළ රජයේ කර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමුපකාර තොගවෙළඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් කිරීමේ හැකියාව පවතී. එබැවින්, සමූපකාර තොග වෙළඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවෙන් යුත් ව්‍යපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යපාරික කටයුතු නැවත අරම්භ කිරීම පිණිස වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘
මීට පෙර සතොස ආයතනය 2023 දී ඈවර කිරීමේ යෝජනාවක් සම්මත වූ අතර, එහෙත් එයට අදාලව ලබා දිය යුතු වූ සතොස සතු දේපළ පිළිබඳ තීන්දු ලබා දිය යුතු වූ කමිටු වාර්තාව ලැබී තිබුණේ 2024 දීය. ඒ අනුව සතොස ඈවර කිරීමේ අවසන් තීන්දුව ගනු ලැබුවේ 2024 සැප්තැම්බර් මාසයේදීය.
එම තීන්දුව ගැනීමට වසරකට පෙර,2023 සැප්තැම්බර් 30 වැනිදා ලියුමක් නිකුත් කර, සේවකයන් 288 දෙනෙකු විශ්‍රාම යැවීමට කටයුතු කර තිබුණි. එම සේවකයන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 353ක් ගෙවා තිබුණි. ඒ අනුව ඈවර කිරීමේ තීන්දුව ගැනීමට පෙර සේවකයන්ගේ රැකියා අහිමි කර තිබුණි.
එයින් පසු ලංකා සතොස සමාගමේ සේවකයන් පිරිසක්, 2024 අගෝස්තු 31 දක්වා වැඩට යොදවා සතොස පවත්වාගෙන ගොස් තිබුණු අතර, නිසි පත්වීම් ලිපික්වත් නොදී මිලියන 4ක දීමනා දී තිබුණි.
සංස්ථාවේ කුලී පදනමට දුන් දේපළ වෙනුවෙන් මිලියන 84ක් 2023 සහ 2024 පළවැනි කාර්තුවට විතරක් අය වීමට නියමිතව තිබුණි. ඈවර කිරීමේ තීන්දුව ගැනීමට පෙර, එනම් 2023 නොවැම්බර් සිට 2024 ජනවාරි අතර කාලසීමාවේදී සංස්ථාවට අයිති ලොරි 51ක් විකුණා තිබුණි. ඒ ලොරි 51න් 43ක්ම ගෙන තිබුණේ පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. තවත් ලොරි 37ක් සහ යතුරුපැද් දෙකක් ප්‍රවාහන අංශයේ දිරාත්වෙමින් පැවතුණි.
සංස්ථාවේ පවතින වත්කම්, වගකීම් සහ සංස්ථාව සතු සමාගම් දෙක ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිලධාරී කමිටුවත් පත් කර තිබුණේ 2023 ජුලි 10 වැනිදාය. එම නිලධාරී කමිටුව මාස 11ක් ප්‍රමාදව, 2024 අගෝස්තු 23 වැනිදා ඒ වාර්තාව බාර දී තිබුණි. සැප්තැම්බර් 02 වැනිදා එය කැබිනට් අනුමැතිය ලබා තිබුණි. එහෙත් සැප්තැම්බර් 21 වැනිදා රජය වෙනස් වී තිබුණි. රජය වෙනස් වන විට ලොරි රථ ඇතුළු දේපළ විකිණීමත්, සේවකයන් ඉවත් කිරීමත් කර අවසන්ය.
මේ පිළිබඳ කෙබඳු පියවර ගන්නේදැයි කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස ‘වාහන සම්බන්ධ ප්‍රශ්නය, සේවකයන් සම්බන්ධ ප්‍රශ්නය ගැන නිලධාරීන් විසින් යෝජනාවක් ඉදිරිපත් කරයි. ඒ ගැන සාකච්ඡා කළේ නැහැ තවම.‘ යනුවෙන් ප්‍රකාශ කළේය.

Author

Related Posts