ගාල්ලේ පිළිකා රෝගීන් අසරණයි;විකිරණ යන්ත්‍ර වැඩැ නැහැ

ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ඇනහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසා සිටියේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයේ නව රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීම සති 2ක කාලයක සිට සම්පූර්ණයෙන් ම ඇනහිට ඇති බවයි.

මෙයට හේතු වී ඇත්තේ, විකිරණ ප්‍රතිකාර සැලසුම් කරන පරිගණක පද්ධතියේ ඇති වී ඇති දෝෂයක් බවත් මේ වන විට මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීම සිදුවී නැති බවත් ඔහු පවසනවා.

මෙම ගැටලුව විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ දෝෂයක් නොවන නිසා දැනට ප්‍රතිකාර කටයුතු සිදුවෙමින් පවතින රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු ඉදිරි සතියක කාලය තුළදී අවසන් කිරීමට හැකි වන අතර ඉන්පසුව අදාළ ඒකකයේ ප්‍රතිකාර කටයුතු නතර වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාර සැලසුම් කොට එය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් අනුමත කිරීමෙන් පසුව ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය වෙත යොමුකරන අතර ඉන්පසුව රෝගියාගේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම සිදුකරනු ලබන බව චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා විශේෂඥ වෛද්‍යවරුන් විසින් එදිනෙදා අනුමත කළ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සැලසුම් එදිනම අදාළ යන්ත්‍රය වෙත යොමු කළේ නම් මෙම පරිගණක පද්ධතියේ දෝෂය නිවැරදි වනතුරු රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදුකර ගැනීමේ හැකියාව තිබු බවයි.

නමුත් එම ප්‍රතිකාර සැලසුම් එදිනෙදා අදාළ පද්ධතිය වෙත යොමු කරන නිලධාරීන් තම වගකීම පැහැරහැරීම හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවද ඔහු චෝදනා කර සිටිනවා.

මේ වනවිට ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන් විකිරණ ප්‍රතිකාර කටයුතු ලබාගැනීම සඳහා මාස 4කට ආසන්න පොරොත්තු ලේඛන ගතව සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

Author

Related Posts