රනිල්ගේ මුදල් ලේකම් මහින්ද අස්වෙයි! ගෝඨා-රනිල් දෙන්නාම එක්ක සිටි හුලංගමුව තනතුර බාරගන්න ලෑස්තියි!

අයවැය කාලසීමාවෙන් පසු මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඉල්ලා අස්වීමට නියමිත බවත්, දැනටමත් ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට මෙම වාර්තා පළ වූ අතර, පෙබරවාරි 17 වැනිදා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය සකස් කරන ලද්දේ මහින්ද සිරිවර්ධන විසින්ය. අයවැය සකස් කිරීම දක්වා තමන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට ඔහු එකඟ වී සිටියද එයින් පසු ඉල්ලා අස්වෙන බව ඔහු ඒ වන විටත් දැනුම් දී ඇතැයි වාර්තා විය. තමන්ගේ අයවැය කතාවේදී එම කතාව සකස් කළ මහින්ද සිරිවර්ධනට ස්තූති කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබුණි.

මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. රනිල් වික්‍රමසිංහ විසින් පළත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවේදී. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සතුව මුදල් නොමැති බව කියමින් මැතිවරණය කල්දැමීමට ක්‍රියා ක‍ළ නිලධාරීන් අතර මහින්ද සිරිවර්ධන ඉදිරියෙන් සිටී.

දුමින්ද හුලංගමුව මේ වන විටත් මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුර බාර ගැනීමට සූදානමින් සිටින බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. හුලංගමුව ගෝඨාභය රාජපක්ෂට ආර්ථික උපදේශකයෙක්ව සිටි අතර, රනිල් වික්‍රමසිංහ පාලන සමයේදීද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලට සහභාගී වී තිබුණි.

ඔහු වත්මනෙහි වාණිජ මණ්ඩලයේ සභාපතිවරයාද වේ. වාණිජ මණ්ඩලයේ සභාපති තනතුරින් ඔහු ඉවත් වීමට නියමිත බව එම වාර්තා සඳහන් කරන අතර, ජුනි මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණි. වාණිජ මණ්ඩල ආරංචිමාර්ග පවසන්නේ, ඔහුගෙන් පසු සභාපති තනතුරට ජෝන් කීල්ස් හිමිකාර කිෂාන් බාලේන්ද්‍ර පත් වීමට නියමිත බවය. මේ වන විට ජෝන් කීල්ස් සමාගම ඉන්දියාවේ අදානි සමාගම සමඟ හවුල්කාරීව පවත්වාගෙන යන වරාය බටහිර පර්යන්තය විවෘත කිරීම සඳහා සූදානම් වෙමින් සිටී.

පහත ඡායාරූපයේ අනුර කුමාර දිසානායක දකුණුපසින් දුමින්ද හුලංගමුව සහ වම්පසින් කිෂාන් බාලේන්ද්‍ර සිටී. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ඊට අමතරව සිටී. වාණිජ මණ්ඩලය මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු අන්දමේ වංචනික ක්‍රියාකාරකම්වල යෙදුණු ව්‍යාපාරික ප්‍රභූන්ගෙන් සමන්විත සංවිධානයකි.

ආචාර්ය අමාලි වෙදගෙදර දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කිරීම පිළිබඳ පහත සටහන ලියා තිබුණි.

1. හුලංගමුව මුදල් අමාත්‍යංශ ලේකම්?

නවලිබරල් අධිරාජ්‍යයේ දැවැන්තයෙක් වන ඉලෝන් මසක් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති උපදේශකයෙක් වීමත් ශ්‍රී ලංකාවේ හාම්පුතුන්ගේ සංගමය වන වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව ශ්‍රී ලංකා ජනාධිපතිගේ උපදේශකයෙක් වීමත් වෙනස් දේවල්ද?

ව්‍යාපාරකයින් සහ දේශපාලන තන්ත්‍රය අතර ඇති බැඳියාවේ ශක්තිමත් වීම නවලිබරල් ධනවාදයේ ඇති සුවිශේෂ ලක්ෂණයක්. පුද්ගලික ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා මත රාජ්‍යය ව්‍යවසායන් කඩා බිඳ දමා පුද්ගලීකරණයට ඉඩ සැලසීම, පොදු සේවා දුර්වල කිරීම, පුද්ගලික ව්‍යාපාර බදු සහන, සහ වෙනත් වරප්‍රාසාද හරහා පෝෂණය කිරීම, ව්‍යාපාරිකයින්ට ලාභ උකහා ගැනීමට පහසු ලෙස වියදම් අධික, අවධානම් කොටස් රාජ්‍යය සතුව පුද්ගලික-රාජ්‍යය හවුල් කාරීත්වයන් (PPP) කරා රාජ්‍යය ව්‍යවසායන් පරිවර්තනය කිරීම .. ආදිය ව්‍යාපාරිකයින්ගේ ඔනෑ එපාකම් කොතරම් රාජ්‍යය ප්‍රතිපත්ති තුල ගිලා බැස ඇත්දැයි විස්තර කරනවා. ලෝක බැංකුව සහ IMF වැඩසටහන් මේවාට උපරිමයෙන් අත්වැල් සපයනවා විතරක් නොවෙයි, ඒවා එසේ වෙන බවට සහතික කරනවා. මේ කියන පුද්ගලික ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යයතා ඉටු කරගැනීම සඳහා පිහිටුවා ඇති කාට්ල් එකක් වෙන වාණිජ මණ්ඩලය පසු ගිය කාලයේ ආණ්ඩු වලට උපදෙස් සපයන්නෙක් වෙලා හිටියේ තිරයෙන් පිටුපස. ඒ ආණ්ඩු කරගෙන ගිය වැඩපිළිවෙල අනිත් පැත්ත පෙරලා සංවර්ධනය දිශාවට ශ්‍රී ලංකාව රැගෙන යන්න ජනතාව තෝරා පත් කරගත් ජාතික ජන බල වේගයේ ආණ්ඩුව තිරය බිඳ දමා වාණිජ මණ්ඩලයේ සභාපති ජනාධිපති උපදේශකයෙක් බවට පත් කළා. “රාජ්‍යය අංශයට හැකියාවක් නැහැ, දැනුම, ශක්‍යතාවය ඇත්තේ පුද්ගලික අංශය තුලයි, ඒ නිසා උපදේශකයින් පත් කරගත යුත්තේ පුද්ගලික අංශය තුලින් බවයි” නවලිබරල්වාදී කන්සල්ටන්ට්ලා කියන්නේ. ‘නොමිලේ දෙන කෑමක් නැතැයි’ කියන කතාව ඔප්පු කරමින් වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය පෙන්වන්නේ වාණිජ මණ්ඩලය නියෝජනය කරන ව්‍යාපාරික පැලැන්තියේ අවශ්‍යයතා කොතරම් රාජ්‍යය ප්‍රතිපත්ති තුල ප්‍රදර්ශනය වෙනවාද යන්නයි.

නොමිලේ කරන්නට ආ ජනාධිපති උපදේශක තනතුරින් එහාට ගොස් දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යංශයේ ලේකම් වන්නට උත්සහ ගන්නා බවයි ආරංචිය.

2. මුදල් අමාත්‍යංශයේ ලේකම් වන්නට හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

වාණිජ මණ්ඩලයේ පසුගිය ක්‍රියාකාරකම් දිහා බැලුවාම පෙනෙනවා ඔවුන් මොන විදිහටද ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත්භාවය දෙසට තල්ලු කර තිබෙන්නේ බව.

පලදායි ආර්ථික විභවයන් සහිත කර්මාන්ත, කෘෂිකර්මය ප්‍රමුඛ නිෂ්පාදන අංශය දුර්වල කරමින් නැඟී සිටි බැංකු, මුල්‍ය, බයින් & සෙලින් – සිල්ලර වෙළෙඳාම, ඉදිකිරීම් අංශය බලවත් කිරීමට වාණිජ මණ්ඩලය දක්වා ඇති දායකත්වය ඉමහත්.

වැඩකරන ජනතාව දුර්වල කරන්නටත් ඔවුන් ලොකු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. කම්කරු නීති දිගටම කප්පාදු කරමින් ලාභ ශ්‍රමය මුලික කරගත් ඌන අගය දාමයන් සහිත ආර්ථිකයක් පෝෂණය කරන්නට තමයි වාණිජ මණ්ඩලය උර දෙන්නේ.

ශ්‍රී ලංකාව බංකොලොත් වන්නට ආසන්නතම හේතුව විදිහට දකින ගෝටාභය රාජපක්ෂගේ ආණ්ඩුව ක්‍රියාත්මක කල බදු පහත දැමීම වාණිජ මණ්ඩලය අත් පොලසන් දී පිළිගත්තා. අගය කලා.

රට බනොලොත් වුනාට මොකද, වාණිජ මණ්ඩලයේ සාමාජික, රාජ්‍යය ස්වෛරී බැඳුම්කර හිමි බැංකු සහ මුල්‍ය සමාගම් වලට බංකොලොත් වීම හරහා අධික ලාභයක් අත්පත් කරගන්නට හැකියාව ලැබුනා.

රටක් බංකොලොත් කර, බංකොලොත්භාවයෙන් පවා ලාභය උපරිම කරගන්නා වාණිජ මණ්ඩලය වගේ ධනපතියන් උපදේශකයින් කරගන්නේ නැත්නම් වැඩක් තියේද!

ජනතාව සිතන්නේ මොකක් උවත්, ජනතා අපේක්ෂා කුමක් වුවත්, වාණිජ මණ්ඩලය වැනි බලවතුන්ගේ අවශ්‍යතා එලෙසම සිදු වන බව පෙන්වන සලකුණු තමයි දුමින්ද හුලංගමුවගේ මුදල් අමාත්‍යංශ ආගමනය.

මේවා හුදු චෝදනා පමණක් නොවෙයි. මෑත කාලින ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය විදහා දක්වන සාක්ෂි.

තත්වය එසේ තිබියදී, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තව දුරටත් හුලංගමුව උපදේශක කමේ තබා ගෙන, ඔහු වාණිජ මණ්ඩල සභාපතිකමින් ඉවත් වෙද්දි මුදල් අමාත්‍යංශයේ ලේකම් බවට පත් කරනවාද?

Author

Related Posts