පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නැහැ;හයවෙනි සංවත්සරයට කලින් අපිට යුක්තිය ඕන-කාදිනල් හිමි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම පිළිබඳ සාධාරණ සංඥාවක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6 ක කාලය තුළ අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

පෙරේදා (15) කොළඹදී පැවැති සමුළුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසුවා.

උන්වහන්සේ කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නැවතත් සිදුවන්නේ පාරට බැසීම බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහනසේ කියා සිටියේ,

“එක්නැලිගොඩ කියන මාධ්‍යවේදියාට මොකද වුණේ කියලා අපි කවුරුත් දන්නේ නෑ. කීත් නොයාර් දස වද දීලා අනූ නමයෙන් බේරුනේ. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාට සිද්ධ වෙච්ච භයානක මරණය, මේ සියල්ල පිටිපස්සේ හිටියේ දේශපාලන ලෝකයේ අපේ නායකයෝ.

නමුත් දැන් කිසි කෙනෙක් ගැන කිසිම විදිහකට යුක්තියක් ඉෂ්ට වුණේ නැහැ. තාමත් ඒක වෙලා නෑ. අදත් පවතින රජයෙන් මේ දේවල් හරියටම කෙරෙනවද මම දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳවත් අපිට කියන්න තියෙන්නේ අන්න ඒක මේ බටලන්ද පිළිබඳ වාර්තාව අන්න ඒ වගේ ඉතාමත්ම දූෂිත පෙළේ වාර්තාවක්.

අපි මේ රජයේ බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස්කරන්න මුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් ඉතින් අපිට ආයි සැරයක් හිතන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් එදා කටුවපිටිය දේවස්ථානයේදී අති ගරු ජනාධිපතිතුමා විසින් තියෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න කටයුතු කරන්න හැකි ඉක්මනින්. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නැහැ. අපි බලාගෙන ඉන්නවා අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා රාහසිගතව ඒවා හංගගෙන ඉන්න හදන්නේ නැතුව එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතුව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට කැමතියි මේ දැන් පාලනය කරන අයට.

තව මාසයකින් පමණ පාස්කු ප්‍රහාරයේ හයවෙනි සංවත්සරය සමරනවා. ඒක නිසා මේ හයවෙනි සංවත්සරයට කලින් අපිට මේ පිළිබඳව යුක්ති ගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් අපිට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න.”

Author

Related Posts