බටලන්ද වාර්තාව පුස්සක්;රනිල් අත්අඩංගුවට ගන්න බැහැ – ගම්මන්පිල

ආණ්ඩුව විසින් බටලන්ද වාර්තාව පිළිගැනීම යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් කළ අපරාධ පිළිගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ බටලන්ද කොමිෂන් වාර්තාවේ 03 වන පරිච්ඡේදයේ සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් බවයි.

‍මෙම වාර්තාව පුස්සක් බවත් මෙම වාර්තාව හරහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නොහැකි බවත් ඔහු සඳහන් කළා.

බටලන්ද කොමිසම පත්කර ඇත්තේ 1948 විමර්ශන කොමිෂන් සභා පනත යටතේ බව පැවසු ගම්මන්පිල මහතා ඒ හරහා පත් කරන ලද කොමිසමකට සිදු කළ හැක්කේ නියම කරන ලද කාරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ සමඟ වාර්තා කිරීම බව පැවසුවා.

1977 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය යටතේ පත් කරන කොමිෂන් සභා සඳහා පමණක් අධිකරණ බලයක් ලැබෙන බවත්, එම කොමිෂන් සභාවලට යම් කෙනෙකු වැරදිකරුද, නිවැරදිකරුද යන්න තීරණය කළ හැකි බව උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Author

Related Posts