මෙම සටහන තබන්නේ පසුගිය 2025.03.11 වන දින දිනමිණ පුවත්පතෙහි හෙවත් ආණ්ඩුවේ පත්තරේ සවන පිටෙහි ‘සරසවි ඇදුරු වැටුප් වැඩිවන හැටි ඇමැති අනුර කරුණාතිලක කියයි’ මැයින් පළවූ ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න දෙදෙනාගේ ලිපියට ප්‍රතිචාරයක් වශයෙනි. එය අය-වැය විවාදයේ දී අමාත්‍යවරයා විසින් සිදු කරන ලද කතාවක් ඇසුරින් සකසන ලද වාර්තාවකි.
ජනපති අනුරට ඡන්දය දුන් දින රාත්‍රියේ චීනයට පැමිණ දැනට සප්ත වාර්ෂික නිවාඩු යටතේ එහි විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටින මම ජාතික ජන බලවේග රජයේ බොහෝ දේ සියුම් ලෙස නිරීක්ෂණය කරමින් සිටිමි. කීමට බොහෝ දේ ඇතත් ඒවා පසුවට තබා උක්ත කාරණය පිළිබඳ යමක් සඳහන් කිරීමට අදහස් කළේ එම පුවත් වාර්තාව නිසා ඇති වූ උත්ප්රාසාත්මක හැඟීම හේතුවෙනි.
පෞද්ගලිකව මම මේ අවස්ථාවේ වැටුප් වැඩි කිරීමක් අපේක්ෂා නොකරමි. පාසල් වයසේ දරු තිදෙනා සහ රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී ගෘහණියක වශයෙන් කටයුතු කරමින් සිටින බිරිඳ සමඟ දැනට සරසවි ඇදුරකු වශයෙන් ලබන එකම ආදායමෙන් වුවද යැපීමට බැරිකමක් නැත. ළමයින් අගනගරයේ සුවපහසු පාසල්වලට හෝ පෞද්ගලික පාසල්වලට යැවීම, ණය මුදල් යටතේ සුව පහසු වාහන පැදීම ඇතුළු ව්‍යාජ මධ්‍යම පාන්තික පුරුෂාර්ථ නඩත්තු නොකරන බැවිනි. එහෙත් මේ කියන්නට යන්නේ අනෙකකි.
මේ අවස්ථාවේදී සියලු රාජ්‍ය සේවකයන් සඳහා යම් ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. පොදුවේ ජනතාව මේ අවස්ථාවේ ඉල්ලා නොසිටි සහනයක් වුවද එය රජය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත්වීමක් ලෙස සැලකිය හැකියි. එසේ වුව ද වැටුප් සම්බන්ධ සංශෝධනයක් කරන්නේනම් එය කෙටි කාලයක් තුළ කිසියම් නිලධාරී පිරිසකට අත්තනෝමතිකව සිදු කිරීමට ඉඩ දීම සුදුසු නොවන අතර ඒ සම්බන්ධ ප්‍රමාණවත් සමාලෝචනයක් සහ අදාළ කණ්ඩායම් සමඟ පුළුල් කතිකාවක් ඇති කර ගැනීම වැදගත් වේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාවට අනන්‍ය වූ කරුණු, එම සේවාව තුළ වෘත්තිකයන් රඳවා තබා ගැනීමේ දුෂ්කරතා, පසුගිය කාලවකවානුවලදී ගත් වෘත්තීය ක්‍රියාමාර්ග, මෑත කාලයේ බලයේ සිටි සියලු රජයන් එම සේවාව කෙරෙහි දැක්වූ සාධනීය ප්‍රතිචාර ඇතුළු කරුණු පිළිබඳ මනා පැහැදිලි කිරීම් ගණනාවක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය මේ වනවිට ඉදිරිපත් කර තිබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතියක් පළ කරනු කැමැත්තෙමි. ඒවා නැවත මෙහි උපුටා දැක්වීමට අපේක්ෂා නොකරමි. අවශ්‍ය කෙනෙකුට එම තොරතුරු අධ්‍යයනය කළ හැකියි.
මෙතන ඇත්තේ වැටුපට ලැබෙන මුදල වැඩිකර ගැනීම සම්බන්ධ කාරණයක් නොව වසර දහයක් පහළොවක් තිස්සේ දියත් කළ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ඔස්සේ අත්පත් කරගත් වෘත්තීය තත්ත්වය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක ප්රමිතීන් පිරිහෙළීම, ආපස්සට හැරවීම පිළිබඳ අර්බුදයකි. මෙහිදී විමසා බැලිය යුතු කාරණය වන්නේ වර්තමාන වැටුප් සංශෝධනවලට පූර්වයේ සහ ඉන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සෙසු වෘත්තීන් අතර ස්ථානගත වන ආකාරයයි. මාසිකව අතට ලැබෙන මුදල යම් අගයකින් වැඩිකර ඇති නමුත් සාධාරණ හේතුවකින් තොරව සරසවි ඇදුරන්ගේ වෘත්තියට අනන්‍ය වූ දීමනා කප්පාදු කිරීම හා සෙසු සේවාවලට සාපේක්ෂ ව අඩු අනුපාතවලින් ඉහළ දැමීම දැඩි සේ අවධානය යොමු කළ යුතු කරුණකි. අධ්‍යයන දීමනාව විශාල ප්‍රතිශතයකින් කපා හැර, පෙර පැවැති අගයට සම කිරීම සඳහා ඊට වෙනත් දීමනාවක් ඈඳීම අනාගතයේදී අර්බුදකාරී තත්ත්වයකට තුඩු නොදෙන්නේ යැයි නොකිව හැකිය.
මේ අවස්ථාවේදී බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කසාය බිව් ගොළුවන් සේ හැසිරෙන්නේ තමාම පත් කරගත් ආණ්ඩුව මාස කිහිපයක් යාමට මත්තෙන් විවේචනය කරන්නට අකමැති නිසාය, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සාපේක්ෂව තමාද යම් කැප කිරීමක් සිදුකළ යුතු බව සිතන නිසාය, මේ අවස්ථාවේදී සත්‍ය තත්ත්වය වසන් කොට හුදෙක් සරසවි ඇදුරන් ලබන වැටුප් පොදු ජන සමාජය හමුවේ කියා පෑවොත් මහ බැංකු නිලධාරීන් සම්බන්ධව ඇති වූ කලකිරීමට හා කෝපයට නොදෙවෙනි තත්ත්වයක් සමාජය තුළ තමා කෙරෙහිද ඇතිවන නිසාය.
මෙවැනි පසුබිමක් තුළ ඇමැති අනුර කරුණාතිලක මහතාගේ උක්ත පැහැදිලි කිරීම එකී සමාජ විරෝධය කුළුගන්වන්නක් පමණක් බව කිව යුතුවේ. එම වාර්තාවට අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු දැන් ලබන රු.529,397.00ක් වූ වැටුප රු.619,860.00ක් දක්වාත් මහාචාර්යවරයකු ලබන වැටුප රුපියල් 440,913.00 සිට 515,844 දක්වාත් වැඩිවන බව ඇමතිවරයා අවසන් වශයෙන් කියා ඇත. මේ වැඩිවීම වසර කීයකින් සිදුවන්නක්ද, මෙයින් මාසිකව බදු වශයෙන් කෙතරම් මුදලක් කපා ගන්නවාද යන්න නොකියා විශාල අගයක් පමණක් සඳහන් කර සමාජය නොමඟ යැවීම එතුමා වැන්නෙකුට තරම් නොවන බව කිව යුතුවේ.
අනුර කරුණාතික මහතා දශක කිහිපයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් සිදුකළ විශිෂ්ට වෘත්තිකයෙකි. 2012 වසරේ පටන් දියත් කෙරුණු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලදී රට පුරා පාගමන් ගිය, වීදියක් පාසා ජනතාව ආමන්ත්‍රණය කළ, මාධ්‍ය නිවේදන පැවැත්වූ, දැනුවත් කිරීම් සිදු කළ එතුමා, සමන් රත්නප්‍රිය, රාජිත සේනාරත්න වැන්නන්ගේ මට්ටමට පත්විය යුතු නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් මේ අවස්ථාව වන විට ද සේවයේ රැඳී සිටියා නම් එතුමා ප්රස්තුතය මේ ආකාරයෙන් ආමන්ත්‍රණය නොකරන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වශයෙන් සේවය කරමින් සිටි පිරිසක් එම තනතුරුවලින් ඉවත් වී වැටුප් නොලබා තම පෞද්ගලික සැප සම්පත් ද කැපකර ජාතික ජන බලවේග රජය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව සත්‍යයකි. එය ඔවුන්ගේ පෞද්ගලික තීරණයකි. ඒ වෙනුවෙන් ගරු කළ යුතුය. නමුත් අන් අයද ඒ අයුරින් කටයුතු කිරීමට බැඳී නැත. එය ඒ ඒ අයගේ දේශපාලනික තීරණයකි.
අපගේ නම් අදහස වන්නේ රටේ දූෂණය, නාස්තිය, අවභාවිතය, රාජ්‍ය දේපල කොල්ලකෑම ආදිය වැළැක්විය යුතු නමුත් දේශපාලනඥයන් ද ඇතුළුව යම් වෘත්තිකයකු සිදු කරන කාර්යයක් උදෙසා සාධාරණ වූ වැටුපක් ලැබිය යුතු බවයි. නොමිලේ වැඩ ගැනීම හෝ නොමිලේ වැඩ කිරීම යනු බොහෝ යල්පැන ගිය අදහසකි. ජාතික ජන බලවේගය කරන්නේ පොදුවේ ගත් කල යහපත් වූ දේශපාලනික අත්හදා බැලීමකි. රටට ආදරය කරන පුරවැසියන් වශයෙන් එය සාර්ථක කර ගැනීමට සහාය දිය යුතු නමුත් ඒ මත්තේ තම සමස්තය ම කැප කිරීමට, සිරිසඟබෝ රජු මෙන් හිස දන්දීමට වෘත්තීය සේවාවක් වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හෝ අනෙක් වෘත්තිකයන්ට හැකියාවක් නැත. ඔවුන්ට විකල්ප ද පැවැතිය යුතු වේ.
සරසවි ඇදුරන් මේ කරුණ වටහාගෙන තම වෘත්තිය හෑල්ලු වීම සම්බන්ධයෙන් ඉදිරිපත් නොවුණ හොත් අනාගතයේ එම සේවාව දැඩි අර්බුදයකට පත්වන බව පමණක් අවසන් වශයෙන් මතක් කර සිටිමි. මෙවැනි අවස්ථාවකදීවත් ඒ සම්බන්ධව සෘජුව මැදහත් මැදිහත් නොවී දේශපාලනික කරුණු කාරණා සලකා බලමින් සිටිනවා නම් තේරුම් ගත යුතු ප්‍රබලම කාරණය වන්නේ සත්‍ය වශයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු කිසිසේත්ම මෙවැනි වැටුපක් ලැබීමට සුදුසු නොවන රූකඩයන් සහ නිවටයන් පිරිසක් පමණක් වන බවයි.
බිහේෂ් ඉන්දික සම්පත්,
මහාචාර්ය,
කැලණිය විශ්වවිද්‍යාලය.
(චීනයේ යුන්නාන් මින්සු විශ්වවිද්‍යාලයේ සිට)
2025.03.13
