වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අම්දි ෆස්ලිම් නමැති තෙහැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවාගේ මරණය සිදුව ඇත්තේ එම රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා බවට සාක්ෂි තිබේ නම් ඒ පිළිබඳව තවදුරට ත් විමර්ශන සිදුකර ඊට අදාළ අපරාධකරුවන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ, එම දරුවාගේ හදිසි මිය යෑම සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.
එම බාල වයස්කාර පිරිමි දරුවාගේ මරණය සිදුව ඇත්තේ, ආසාදනය වී තිබූ ඔහුගේ එක් වකුගඩුවත් ඉවත් කිරීමෙන් පසු මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ අක්‍රිය වීමත් තරලය දැඩි ලෙස ඒකරාශි වීමත් හේතුවෙන් ඇති වූ කම්පනය නිසා බවට එම පරීක්ෂණයේදී අනාවරණය වන මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා.
තම දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව 2023 වසරේ අගෝස්තු මාසයේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කළ බව ත් එහිදී සිදුකළ ශල්‍යකර්මයකදී තම දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවට ද හානි සිදුවීමෙන් මෙම මිය යෑම සිදුව ඇති බව පවසමින් මියගිය දරුවාගේ මව්පියන් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කෙරුණා.
පසුව එම විමර්ශන කටයුතු බොරැල්ල පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කරන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙස පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය මගින් එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ පැවැති සාක්ෂි විමසීමේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා හා එම ශල්‍යකර්මය සිදු කිරීමට සම්බන්ධ වූ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් රැසකගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අධිකරණයට පියවර ගෙන තිබුණා.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරයෙකු මෙන් ම වෛද්‍යවරයකු ද වන වී.එල්.එම්. යූසුෆ් පෙනී සිටියා.
දරුවා මිය ගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් නම් සැකකරුවන් අල්ලන්න
