අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට එම සැකකරු සොයා පරීක්ෂණ දිගින් දිගටම සිදු කෙරෙන බවයි.
අදාළ සැකකරු හමුදාවෙන් පළා ගිය පුද්ගලයෙකු බවත් ඔහු ජීවත් වන ප්‍රදේශය සම්බන්ධ තොරතුරුද මේ වන විට හදුනාගෙන ඇති බවත් ආනන්ද විජේපාල මහතා තවදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාව නියෝජනය කරන වෛද්‍යවරුන් පවසන්නේ පොරොත්තු රාජකාරිවල නිරත වන වෛද්‍ය නිලධාරීන්ට අවශ්‍ය ගමන් පහසුකම් සහ ආරක්ෂක පහසුකම් ස්ථාපිත කරන තෙක් රාජකාරි කටයුතු වලින් බැහැරව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බවයි.
මෙවැනි ඛේදජනක සිදුවීමක් වාර්තා වන තෙක් නොසිට රෝහල සහ රෝහල් පද්ධතිය ආශ්‍රිතව නිර්මාණය කිරීමට අවශ්‍ය ආරක්ෂිත තත්වය සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතුව තිබූ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා සඳහන් කළා.
ඔහු තවදුරටත් පවසා සිටියේ, මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ මින් පෙර රෝහලේ වෛද්‍යවරුන් රෝහල සහ එම පද්ධතිය හා සම්බන්ධ ආරක්ෂාවේ අඩුපාඩු මෙන්ම යම් යම් සිදුවීම් පිළිබඳව වගකිව යුතු බලධාරීන් වන උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා ,නියෝජ්‍ය පොලිස්පතිවරු, දිසාපතිතුමා, නාගරික කොමසාරිස්තුමා දැනුවත් කර තිබූ පසුබිමක බවයි.
එමෙන්ම, මෙම සිදුවීම වාර්තාකිරීමේදී ලිංගික හිංසනයට ලක්වුණු වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළිදරව් නොකිරීම වගබලාගන්නා මෙන් මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමක් කරන බවද මෙහිදී වෛද්‍යවරුන් පවසා සිටියා.
වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියකට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වර්ජනයක්
