පාසල්වලට ගෙනා ස්මාර්ට් බෝඩ් 1,000ක් අවුරුද්දක් තිස්සේ පත්තලගෙදර

පාසල් සඳහා ලබා දීමට ගෙනා සුහුරු පුවරු (ස්මාර්ට් බෝර්ඩ්ස්) 1000ක් පත්තලගෙදර ගබඩාවක දිරාපත් වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෞශල්‍යා ආරියරත්න පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එම සුහුරු පුවරු පසුගිය 2024 පෙබරවාරි මාසයේදී මෙරටට චීනයෙන් ලැබී ඇති බව ද එම පහසුකම් ලබාදීමට රජය රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන කළ බව ද කෞශල්‍යා ආරියරත්න මන්ත්‍රිවරිය පවසා සිටියා.

එම පුවරු ලැබුණ ද ඊට අදාළ තාක්ෂණය ලබාගැනීමේ නිසි ක්‍රමවේදයක් නොතිබුණු නිසා මෙම පුවරු දිරාපත් වෙමින් පවතින බව ද නාස්තියට ලක්වූ සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ මේ වනවිට නව රජය ලෙස සාකච්ඡා කරමින් සිටින බවද කෞශල්‍යා ආරියරත්න පැවසුවා.

ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් පාසල්වල තිබෙන බවට හෙළිවී ඇතැයි ද ඒ පිළිබඳවද ඉදිරියේදී සාකච්ඡා කර තීරණවලට එළැඹෙන බවද කෞශල්‍යා ආරියරත්න මන්ත්‍රිවරිය සඳහන් කළා.

Author

Related Posts