අධ්‍යාපන විවාදයේදී අගමැතිනිය සංවේදීව අනතුරකින් සමුගත් සහෝදර ආචාර්යවරිය කළ කැපකිරිම් ගැන හෙළිදරව්වක් කරයි!

මාර්තු 10 වැනි දින පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ විවාදයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අනතුරකින් ජීවිතයෙන් සමුගත් ආචාර්ය ජානකී ජයවර්ධන පිළිබඳ සංවේදී කතාවක් සිදු කළා.

ආචාර්ය ජයවර්ධන අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලවලදී කළ කැපකිරීම් සිහිපත් කිරීමට මෙන්ම ඇය 2012 අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 6ක් ඉල්ලා කළ අරගලයේදී තිරය පිටුපස සිට කළ මෙහෙවරද සිහිපත් කළා.

ආචාර්ය ජයවර්ධන මාර්තු 08 වැනිදා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණේ, සිය පුතුගේ රථය පල්ලමක නවතා තිබියදී, වාහනය ඉදිරියට ගමන් කරවීම පිණිස වාහනයේ රෝදයට තැබූ ගලක් ඉවත් කිරීමේදී පැකිළීමකින් එම මෝටර් රථයටම යට වීමෙන් අනපේක්ෂිතව සිදු වූ අනතුරකින්.

මේ අග්‍රාමාත්‍යවරිය කළ අදහස් දැක්වීම.

‘අපි සියලු දෙනාගේම, ආණ්ඩුව පැත්ත නියෝජනය කරන විශ්වවිද්‍යාල ප්‍රජාවන් ආපු 14 දෙනෙක් ඉන්නවා. අපි සියලුදෙනාගේම ඉතාමත්ම කිට්ටු සගයෙක්, මිතුරියක් වුණ ආචාර්ය ජානකී ජයවර්ධන දින දෙකතුනකට කලින් ඉතාමත්ම අනපේක්ෂිත විදියකට රිය අනතුරකින් අපෙන් වෙන්වෙලා ගියා.

මම ජානකී ජයවර්ධන ගැන මගේ කතාව ආරම්භයේදීම මතක් කරන්නේ කථානායකතුමනි, ඇගෙන් වෙන්වීම පිළිබඳ සංවේගය ප්‍රකාශ කිරීමටම පමණක් නෙවෙයි. ආචාර්ය ජානකී ජයවර්ධන කියන්නේ අපි සියලුදෙනාම බලාපොරොත්ත වෙනවා නම් යම් කිසි විදියකට විශ්වවිද්‍යාල ප්‍රජාවක් හැටියට අයිඩියල් ඉන්ටලෙක්චුවල් කියන්නේ කවුද කියලා, ජානකී එවැනි චරිතයක්.

ඇයගේ ශිෂ්‍ය ප්‍රජාවෙන් ඇය ගැන ඇහුවොත් ඇයට පුදුම ආදරයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇයට දැක්වුවේ. ඒ විතරක් නෙවෙයි අපේ සගයෙක් හැටියට අපිත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරමින් විශාල ශක්තියක් වුණ චරිතයක්. එවැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපෙන් නැතිවීම පුද්ගලිකවට වඩා රටට බරපතල අහිමිවීමක්. ඒ නිසා තමයි මම ඇය ගැන කියමින් මේ කතාව ආරම්භ කරන්නේ.

ජානකී 2012 අරගලයේදී.

2012 දී විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජව ක්‍රියාත්මක කළ වෘත්තිය අරගලය සුවිශේෂී අරගලයක්. වෘත්තිය සමිතියකට වෘත්තිය අයිතිවාසිකම්වලින් එහාට ගිහින් සමාජ අරගලයකට නායකත්වය දෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කළා. ඒක වෘත්තිය සමිති අරගලයක්ම විතරක් නෙවෙයි. අධ්‍යාපනය වෙනුවෙන් දියත් කරපු අරගලයක්. ඒකට වෘත්තිය සමිති විතරක්ම නෙවෙයි සම්බන්ධ වුණේ අධ්‍යාපනය කෙරෙහි සංවේදීභාවයක් දක්වපු ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ සියලුම දෙනා එකතු වුණ අරගලයක්. වෙන වෘත්තිය සමිති වගේම සිවිල් සමාජය පුරවැසියන් විදියට එකතුවෙලා කරපු අරගලයක්. මේ අරගලය තුළ සමාජයටත් විශාල පණිවිඩයක් දුන්නා පොදු දෙයක් වෙනුවෙන්, අපි සියලුදෙනාටම දැනෙන අපි සියලුදෙනාටම විශාල සංවේදීභාවයක් දැනෙන අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රයක් පිළිබඳ අපි සියලුදෙනාටම අරගල කරන්න පුළුවන් කියලා මේ වෙනුවෙන්. ඒ සටනේ අපට නායකත්වය දුන්න චරිතයක් ආචාර්ය ජානකී ජයවර්ධන කියන්නේ. ඇය නිහඬව ඒ නායකත්වය දුන්නේ. ඇය පිටුපස ඉඳගෙන ඒ නායකත්වය දුන්නේ. ඒ නිසයි ඒක වැඩිපුර වටිනාකමක් තියෙන්නේ. ඇය වේදිකාවේ මතු වුන්නෑ. කතාවල මතු වුන්නෑ. ඒ වෘත්තිය අරගලය අපට කරන්න බැරිවෙනවා ආචාර්ය ජානකී ජයවර්ධන හිටියේ නැත්නම්. ඔබ සියලුදෙනාගේම මතකයේ ඇති අපි ඒ අරගලය තුළ දින පහක දිග පාගමනක් කළා ගාල්ලේ ඉඳන් කොළඹ දක්වා. එතකොට අපි සියලුදෙනාම තැඹිලි සහ කළුපාට ටීෂර්ට් ඇන්දා. සීයට හය කියලා ගහලා. අපට ඒ ටීෂර්ට් ගහන්න සල්ලි තිබුණේ නෑ. ආචාර්ය ජානකී ජයවර්ධනගේ ඉඩමක් විකුණලා ලැබිච්ච සල්ලිවලින් තමයි ටී ෂර්ට් ගැහුවේ. එයා විශ්වාස කරන ඕනෑම දෙයක් වෙනුවෙන් නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක්. මෙවැනි මොහොතක ඇය නැති එක අපට දැනෙනවා. ඇය වැනි අය සමාජයට අවශ්‍යයි.‘

සංස්කාරක සටහන –

අගමැතිවරියට විශාල වගකීමක් තිබෙනවා. ජානකී ජයවර්ධන ඇතුළු ආචාර්ය ආචාර්යවරියන් 2012 දී අරගල කළේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 6ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ඉල්ලමිනුයි. එහෙත්, මෙවර දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.84ක් පමණක් අධ්‍යාපනයට වෙන් කර ඇති බව රජයේ මුදල් කාරක සභාව විසින් පෙන්වා දී තිබුණා. ඒ අනුව අධ්‍යාපනය වෙනුවෙන් මීට වඩා වැඩි මුදලක් වෙන් කරවාගැනීම ජානකී ජයවර්ධනට සිදු කරන විශාලම ගෞරවය බවත් සංවේදීව සිහිපත් කිරීම වැදගත්.

Author

Related Posts