ශ්‍රී ලාංකික තරුණයන් සිගරට් ඇබ්බැහිය නැවැත්වීම සඳහා පාවිච්චි කරන, මෑත කාලයේ වැඩි ජනප්‍රියත්වයක් ලබා ඇති භාණ්ඩයක් වන වේප් එක හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බවත් දුටුවහොත් අත්අඩංගුවට ගන්නා බවත් මුදල් කාරක සභාවේදී අනාවරණය වුණි.
එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මුදල් කාරක සභාවේදී අදහස් දක්වමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මේ බව පැවසීය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ලංකාවේ සිගරට් බද්ද එන්න එන්න අඩුවෙන බවක් පෙනී යන බවය.
එමෙන්ම දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන ලෙස ද හර්ෂ ද සිල්වා මෙහිදී උපදෙස් ලබාදුනි.
මෙයට පිළිතුරු ලබාදුන් සේනානායක,
“සුරාබදු, VAT, SSCL සහ බදු වර්ග කිහිපයක් තියෙනවා. දැනට 40%ක් තියෙන ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වනදා සිට 45%ක් දක්වා වැඩිවෙනවා. 2018 වගේ සිගරට් විකුණුම බිලියන 3.1ක්. ඒක තමා අඩුවෙලා තියෙන්නේ බිලියන 2ක් වගේ.”
ප්රශ්නය –
සිගරට් එකක ගෝලීය මිණුම් ලකුණ කුමක් ද ? 75%ක් කියලා තමා මෙතෙන තියෙන්නේ.”
“සභාපතිතුමා මේකේ රජය සහ සමාගම අතර මිල තීරණය කරන්න ක්‍රමයක් නෑ දැනට. අපි බද්ද දැම්මට මිල තීරණය කරන්නේ ආයතනය. ඒ හේතුව නිසා මේ ගෝලීය මිණුමට අපිට යන්න බැරිවෙලා තියෙන්නේ. 66% – 71% වගේ මට්ටමක අපි ඉන්නේ.”
ප්රශ්නය –
අපි 2015 – 2019 වෙනකල් ඉඳලා තියෙනවා. 2021 අපි එතැන ඉඳලා තියෙනවා.
වේප් (ඉලෙක්ට්‍රොනික සිගරට්) නියාමනය වෙනවා ද ?
“ඒක නීතිවිරෝධීයි. අපි ඒක දැනගත්තහම අත්අඩංගුවට ගන්නවා.”
