USAID පොලු තියා අමාරුවේ දැම්ම රජයේ ව්‍යාපෘති මෙන්න! ඒවාට සල්ලි හොයන්නේ මෙහෙමලු!

ශ්‍රී ලංකා රජය, මීට පෙර USAID මූල්‍යාධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති දුසිමකට වැඩි ප්‍රමණයක් වෙනුවෙන් විකල්ප මුදල් මූලාශ්‍ර සොයමින් සිටී.

මෑතකදී එක්සත් ජනපද රජය විදේශ ආධාර අත්හිටුවීමේ පියවර හේතුවෙන් මෙම තත්වයට රජය මුහුණදී සිටින අර, එය ජාතියේ සංවර්ධන වැඩසටහන්වලට සැලකිය යුතු ලෙස බලපාන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ආධාර අත්හිටුවන අවස්ථාවේදී, USAID අරමුදල් මත අධිකරණ අමත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ එක් ව්‍යාපෘතිය බැගින් ක්‍රියාත්මක කරමින් සිටි අතර, පරිසර අමාත්‍යාංශයේ ව්‍යාපෘති පහකට ක්‍රියාකාරීව මූල්‍යධාර ලබා දී තිබුණි.

USAID ආයතනය විවිධ රටවල රජයන් සහ රාජ්‍ය නොවන සංවිධානවලට මූල්‍යාධාර ලබාදීමත්, එම ආධාර වෙනුවෙන් ව්‍යාපෘති වාර්තා සහ ව්‍යාපෘති සැලසුම් ලබාගැනීමත් සිදු කරන අතර කාලාන්තරයක් තිස්සේ විවිධ රටවල තොරතුරු එකතු කිරීමට මෙන්ම මතවාද හැසිරවීමට USAID ආධාර උපකරණයක් ලෙස පාවිච්චි කර ඇතැයි චෝදනා එල්ල විය. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විදේශාධාර වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් කිරීම දැඩිව සීමා කර ඇති පසුබිමක USAID ව්‍යපෘති නතර කිරීමට කටයුතු කළේය.

රජයේ සංවර්ධන අයවැයෙන් ආසන්න වශයෙන් සීයට 1.34ක් USAID ආධාර යටතේ ක්‍රියාත්මක කළ බව මුදල් අමාත්‍යාංශයේ දත්ත ඇසුරෙන් සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණි.

එම වාර්තා අනුව 2019 සිට මේ දක්වා US$ මිලියන 233.4ක වටිනාකමකින් යුත් රජයේ වැඩසටහන් සඳහා USAID සහාය ලබා දී ඇත. භාණ්ඩාගාරය දැන් මෙම ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට විකල්ප අරමුදල් මූලාශ්‍ර සොයා ගැනීමට වෙහෙසෙමින් සිටී.

මෙයින්, 2019 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 20.4ක්, 2021 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 41.9ක්, 2022 අර්බුදකාරී කාලසීමාවේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 26ක් සහ 2024 කාලසීමාවේදී මේ දක්වා ඇමෙරිකන් ඩොලර් මිලියන 18.1ක් ලබා දී තිබුණි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ වෙළඳපල මත පදනම් වූ වර්ධනය ශක්තිමත් කිරීමට සහ යහපාලන භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යාංශ හතරක් අතර ඇමෙරිකන් ඩොලර් මිලියන 24.5ක් බෙදා හරින ලදී. මීට අමතරව ඇමෙරිකන් ඩොලර් මිලියන 22.9ක ව්‍යපෘතියක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 15ක කාර්යක්ෂමතාව උදෙසායැයි කියමින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකට මුදල් යොදවා තිබුණි.

ඇමෙරිකන් ඩොලර් මිලියන 19ක් වියදම් කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතියක් ක්‍රියාත්මක කර තිබුණු අතර, 2023 පොහොර අර්බුදය හමුවේ ඇමෙරිකන් ඩොලර් මිලියන 46ක ආධාරයක් ලබා දී තිබුණි.

මෙහිදී අහිමි වූ අරමුදල් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යනාදී ආයතනවලින් මෙන්ම දේශීය අරමුදල්වලින් සපයා ගැනීමට රජය බලාපොරොත්තුවෙන් සිටී.

(මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ වත්මන් ආණ්ඩුව සමයේ භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කරන මහින්ද සිරිවර්ධන, 2022 දී රනිල් වික්‍රමසිංහ සමයේ භාණ්ඩාගාර ලේකම් ලෙසම කටයුතු කරමින් සිටියදී USAID ආධාර ලබා ගත් අවස්ථාවකි.)

Author

Related Posts