නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ කීපයකට අදාල සැකකරුවන් නිදහස් කිරීමට හේතු අදාල පාර්ශ්වයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේදී ඝාතන යටගසමින් ඝාතනයට සහාය වූ පුද්ගලයන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස තීන්දු කර තිබුණු අතර, එහි වින්දිතයන් වූ මාධ්‍ය වේදීන් මෙන්ම ලසන්ත වික්රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග නීතිපති දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ ඉතා පහත් ආකාරයෙන් එම වින්දිතයන්ට නීතිපති දෙපාර්තමේන්තුව සැලකූ අන්දම සමාජයේ විශාල කතාබහකට ලක් විය.
නීතිපති දෙපාර්තමේන්තුව යම් සැකකරුවෙකු නිදහස් කිරීමේදී එයට හේතු සඳහන් නොකරන අතර, අදාල සැකකරුවන් චෝදනාවලින් නිදහස් කරන බව පමණක් ලිඛිතව දැනුම් දෙනු ලබයි. ඔවුන් නීතියෙන් හේතු දැක්වීමට බැඳී නොමැති නිසා, නීතිපති දෙපාර්තමේන්තුවට පුද්ගලයන් චෝදනාවලින් නිදහස් කිරීමට අසීමිත බලයක් ලැබී තිබේ. ප්‍රකට අපරාධ ගණනාවක සැකකරුවන් එලෙස මුදාහැරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මහර සිරකරු ඝාතන, බලපිටියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ඝාතනය ඇතුළු සිදුවීම් ගණනාවක් ඒ අතර තිබේ.
සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත්තේ නීතිපති පාරින්ද රණසිංහ දැන් සැකකරුවන් නිදහස් කිරීමෙන් පසු හේතු දැක්වීමට තීන්දුවක් ගෙන ඇති බවය. ඒ අනුව, අදාල පාර්ශ්වයන් සැකකරුවන් නිදහස් කිරීමට හේතු විමසන අවස්ථාවකදී රජයේ නීතිඥවරුන්ගේ උදෘත මත පදනම්ව හේතු ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.
ඇතැම් නඩුවලදී ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවලදී අදාල චෝදනාවලට අදාලව නඩු පවත්වාගෙන නොයෑම නීතිපති දෙපාර්තමේන්තුව සතු අයිතියක් වන අතර, එයට අභිමතානුසාරී බලයක් නීතිපති දෙපාර්තමේන්තුවට තිබීම සංකල්පයක් ලෙස නිවැරදි තත්වයකි. එහෙත්, මෑත කාලීනව එම නිදහස අවභාවිත කරමින් ඉතා ප්‍රකට අපරාධ ගණනාවක සැකකරුවන් අපරාධයක් පිළිබඳ පැහැදිලි සාක්ෂි ඇති අවස්ථාවලදී පවා පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කිරීම නව සම්ප්රදායක් විය. මහේස්ත්‍රාත් විමර්ශනවලදී අපරාධයක් හඳුනාගැනීමට ඇති අවස්ථාවලදී පවා එලෙස සැකකරුවන් නිදහස් කරමින් අපරාධවලට දණ්ඩ මුක්තිය ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.
ලසන්ත වික්රමතුංගගේ සටහන් පොත අතුරුදන් කිරීමට සක්‍රීයව සහ ක්‍රියාකාරීව මැදිහත් වූ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරව හුදෙක් ‘සටහන් පොතක් අස්ථානගත වීමක්‘ ලෙස සැහැල්ලු කරමින් පදනම් විරහිතව නිදහස් කිරීමත්, විධිමත් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකින් හඳුනාගෙන තිබියදී ප්‍රේම් ආනන්ද උදලාගම යන නිලධාරියාව නිදහස් කිරීමත් ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශන යටගැසීමේ වුවමනාවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ ක්‍රියාවක් බවට චෝදනා එල්ල වුණේ එවැනි පසුබිමකය.
(ඡායාරූපයෙහි ඇත්තේ නීතිපතිවරයා තේරී පත් වූ අවස්ථාවය)
