විදුලිය විකුණන පනත අහෝසි කරන්නෑ! පුබුදුගෙන් චෝදනාවක්

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සඳහා පසුගිය ආණ්ඩුව ගෙනා පනත අහෝසි නොකර සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ජන අරගල සන්ධානය පවසයි.

කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (05 වැනිදා) මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතෙම මෙසේ ද පැවසුවේය.

” රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ විදුලිබල මණ්ඩලය කොටස් කරලා විකුණන්න ” 2024 අංක 36 දරණ ලංකා විදුලි පනත ” නමින් පනතක් පාර්ලිමේන්තුවේ දී සම්මත කලා. ඒ පනත ඉදිරිපත් කලේ එවකට විදුලිබල ඇමති කාන්චන විජේසේකර විසින්. කිසිඳු මහජන අදහස් විමසීමකින් තොරව ඉතාමත් වංචනික ලෙස තමයි මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ මොහොතේ සමාජයෙන් බරපතළ විරෝධයයක් එල්ල වුණා මේ පනත සම්මත කිරීමට එරෙහිව. පනතට එරෙහිව ඒ මොහොතේ විශාල මහජන විරෝධයක් ආවා. වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව පවා මේ පනත ජනතා ද්‍රෝහී පනතක් ඒ නිසා මේ පනත අහෝසි විය යුතුයි කියලා ඉල්ලමින් ඒ වෙලාවේ අධිකරණයට ගියා. ඉතාම දෛවෝපගත විදිහට ඒ වෙලාවේ මේ පනතට එරෙහිව පැමිණිල්ල ගොණුකලේ වර්තමාන ආණ්ඩුවේ විදුලිබල ඇමතිවරයා.

ඒ පැමිණිල්ල ගොණු කරපු විදුලිබල ඇමතිවරයා යටතේම දැන් ආණ්ඩුව සූදානම් වෙනවා මේ පනත අහෝසි නොකර ඉතාම වංචනික ලෙස සංශෝධන ලේබලය අලවල නැවත ක්‍රියාත්මක කරන්න. පසුගිය ජනවාරි 28 ආණ්ඩුව විදුලි පනත සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම සඳහා කියලා සංකල්ප පත්‍රිකාවක් නිකුත් කළා. පළවෙනි කාරණය තමයි මේ පනත සංශෝධනය කරන්න මහජන අදහස් විමසීම කියලා මේ ලබා දුන්න කාලය මුලුමනින්ම වංචාවක් සහ ජනතාව මුලා කිරීමක්. මොකද 28 වෙනිදා ඉඳලා පෙබරවාරි 7 වෙනිදා වෙනකල් තමයි ජනතාවට අදහස් විමසන්න කාලය දීලා තියෙන්නේ. ඒ ඉතාම සීමිත දි ගනනක්. අනිත් එක මේ සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කරල තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මහජන අදහස් විමසීමකදී අදාළ පත්‍රිකා සිංහල සහ දෙමළ භෂා දෙකෙන්ම ඉදිරිපත් කල යුතුයි කියන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට පයින් ගහලා මේ සංකල්ප පත්‍රිකාව ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් ඉදිරිපත් කිරීමෙන්ම පේනවා ආණ්ඩුට හංගන්න දෙයක් මේ පනත ඇතුළෙ තියනවා කියන එක. අනිත් බරපතළම ප්‍රශ්නය තමයි ජනවාරි 28 සංකල්ප පත්‍රිකාව මහජන අදහස් විමසීම සඳහා යොමු කලාට ජනතාවාරි 23 වෙනිදා මෙයට අදාළ කැබිනට් අනුමැතිය ඉල්ලල විදුලිබල ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා. ඒකෙ තියෙන්නේ විදුලි පනත සංශෝධනය සඳහා නීතිපතිවරයාට යොමු කරන්න කැබිනට් අනුමැතිය දෙන්න කියලා. එහෙම කලින්ම කැබිනට් අනුමැතිය සඳහා යොමු කරපු දෙයකට මහජන අදහස් විමසීම සම්පූර්ණ වංචාවක්. මොකද ජනතාව කැමති වුනත් නැතත් අපි මේ පනත සම්මත කරනවා කියන එක තමයි ඒ නොකියා කියලා තියෙන්නේ. කාංචන විජේසේකරත් ඔය වංචාවම තමයි කලේ.

අපි ආණ්ඩුවට කියනවා විදුලිබල මණ්ඩලය විකුණන්න ජනතාද්‍රෝහී විදිහට ගෙනාව මේ පනත වහාම අහෝසි කරන්න. මොකද මේ පනත තවම නීතියක් බවට පත් වෙලා නෑ. හැබැයි පනත අහෝසි නොකළොත් මේක ඉබේම නීතයක් බවට පත් වෙනවා. එහෙම තක්කඩි විදිහට තමයි මේ පනත හදල තියෙන්නේ. අනිත් එක ආණ්ඩුව කිව්වේ බලයට එන්න කලින් මේ පනත අහෝසි කරනවා කියලා. දැන් සංශෝධන කතන්දර කියන්න ආණ්ඩුවට අයිතියක් නෑ. අනිත් එක තමයි ප්‍රාග්ධන බූවල්ලන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ජනතා ද්‍රෝහී පනතක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට සදාචාර අයිතියකුත් නෑ. ඒ නිසා වහාම මේ වංචනික ක්‍රියාව නවත්තන්න ඕන. එහෙම නොවුනොත් ජනතා විරෝධයක් ගොඩ නගල මේ පනත අහෝසි කරවන්න අවශ්‍ය මැදිහත් වීම අපි කරනවා කියලත් ජන අරගල සන්ධානය විදිහට මේ වෙලාවෙ මතක් කරනවා. “

(මොණරා පුවත්පතෙන් උපුටාගන්නා ලදී)

Author

Related Posts