අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කර ඇත්තේ බැකෝ සමන්ට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීමේ සිද්ධියකට එකටඑක කිරීමක් බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ, තමන් අධික ණය බරකින් පෙළීම හේතුවෙන් බැකෝ සමන්ගේ කොන්ත්‍රාත්තුවක් මත මෙය කළ බවයි.
මිද්දණෙිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18වනදා කජ්ජා නැමැත්තා නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර, එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මිය ගියා.
ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී, වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරින් වෙඩික්කරු, ඝාතනයට ආධාර අනුබලදුන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ඊයේ (5) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවටගත් වෙඩික්කරුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, ඩුබායිහි සිටින බැකෝ සමන් නැමැත්තාගේ උපදෙස්මත පසුගිය පෙබරවාරි 10, 11 හා 12 යන දිනවලදී කජ්ජා ඝාතනය කිරීමට උත්සාහ දැරූවද එය අසාර්ථක වූ බවයි.
අනතුරුව බැකෝ සමන්ගේ සමීපතමයෙක් වන ඩුබයිහි සැඟව සිටින ළහිරු නැමැත්තාගේ උපදෙස් මත කජ්ජා ඝාතනය කිරීමට පසුගිය පෙබරවාරි 18 වනදා යතුරුපැදිකරුවකු සමග පිටව ගිය බව ද වෙඩික්කරු පාපොච්ඡාරණය කර තිබෙනවා.
යතුරුපැදිකරුව ළහිරු නැමැත්තා විසින් දුරකථනයෙන් මෙහෙයවා ඇති අතර, කජ්ජා එනතුරු ඔවුන් ඝාතනය සිදු වූ ස්ථානයට නුදුරින් පිහිටි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අසල රැඳී සිට ඇති බව පොලීසිය පවසනවා.
පසුව ඔවුන් එම ස්ථානයෙන් ඉදිරියට යෑමේදී මුහුණට මුහුණ හමු වූ කජ්ජා, සිය දරු දෙදෙනා සමග යතුරුපැදියෙන් ගමන් ගන්නා අයුරු දැක යතුරුපැදිය හරවාගෙන හඹාවිත් වෙඩි තැබීම සිදුකළ බව වෙඩික්කරු පොලීසිය හමුවේ පවසා තිබුණා.
එම අවස්ථාවේදී තමන් දරු දෙදෙනා දැක වෙඩි තැබීමට නොහැකි බව පැවසූවද, යතුරුපැදිකරුගේ බලකිරීම මත එය සිදුකළ බවත්
තමා යතුරපැදියේ හිඳගෙන ගිනිඅවිය උකුල මත තබාගෙනම වෙඩි තබා පලාගිය බවත් ඔහු පාපොච්ඡාරණය කර තිබෙනවා.
වෘත්තියෙන් පෑස්සුම් ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති වෙඩික්කරු, අපරාධකරුවන් භාවිත කර ගිනිඅවිවල දෝෂ ඇති වූ විට ඒවා අලුත්වැඩියාකිරීම් ද සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
මොහු පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවකු බවට පොලිසිය සැක පළකරනවා.
මේ අතර ඝාතනයට ලක් වූ කජ්ජා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් බැකෝ සමන්ට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීම නිසා ඔහුව ඝාතනය කළ බවට පොලීසිය පවසනවා.
එමෙන්ම කජ්ජා සූදුපොළවල් පවත්වන අතර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සූදුපොළවල්වලට පැන ඒවායේ මුදල් කොල්ලකෑමේ සිද්ධීන් ද වාර්තාවී ඇති බව පොලීසිය පවසනවා.
ඝාතනයෙන් පසුව ඔහුගේ නිවස පොලිසිය විසින් පාරීක්ෂා කිරීමේදී මංකොල්ලකෑම් සඳහා භාවිත කළ පණිවුඩ හුවමාරුකරන යන්ත්‍ර කිහිපයක්ද පොලීසිය සොයාගෙන තිබුණා.
කෙසේ නමුත් වෙඩික්කරු ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පැද වූ පුද්ගලයා හා ඒ සඳහා යොදාගත් ටී – 56 ගිනිඅවිය මෙතෙක් පොලීසියට සොයාගැනීමට හැකිවී නැහැ.
මේ අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (6) ඉදිරිපත් කළ සැකකරුවන්ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.
මිද්දෙණිය ඝාතනයට ගංජ පාර්සලයකින් වහයි.
