දින අටකින් නිම වු රාමේෂ්වරම් වැඩවර්ජනය

ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට පත් සිය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවරයින් දින අටක් පුරා පැවැත්වූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්ව සිටින ධීවරයින්ගේ පවුල් සඳහා ලබා දෙන ආධාර මුදල් වැඩි කරන බවට ඉන්දීය මහ ඇමති එම්.කේ. ස්ටාලින් විසින් පොරොන්දු වීමත් සමඟයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙතෙක් අත්අඩංගුවට පත් බෝට්ටු අයත් වූ ධීවරයින්ට සඳහා ලබා දෙන මූල්‍ය ආධාර වන රුපියල් ලක්ෂ 6 මුදල රුපියල් ලක්ෂ 8 දක්වා වැඩි කිරීමටත්, ලංකාවේදී අත්අඩංගුවට පත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා දෛනික ආධාර රුපියල් 350 සිට රුපියල් 500 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් රාමේෂ්වරම් ධීවර සංගම් මහ ඇමතිවරයාට ස්තූතිය පළ කර ඇති බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් මාර්තු 01 වෙනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණා.

විරෝධතාවය හේතුවෙන් රාමේෂ්වරම් ධීවරයින්, පෙබරවාරි 24 වන දින සිට ධීවර කටයුතුවලින් බැහැරව සිටි අතර මාර්තු 08 වෙනි දින සිට ඔවුන් නැවත ධීවර කටයුතු ආරම්භ කරන බව දැනුම් දී තිබෙනවා.

Author

Related Posts