අඩු ආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට අස්වැසුම දත්ත පද්ධතියේ අඩුපාඩු පවතින බැවින් එම දත්ත පද්ධතිය නැවත යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කරන බවයි.
ඊයේ (03) පැවති දසවැනි පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අමාත්‍යාංශයේ කාර්ය සහ අරමුණු කාරක සභාවට හදුන්වා දෙමින් නිලධාරීන් පෙන්වා දුන්නේ දැනට මිලියන 1.7 කට ආසන්න පිරිසක් අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා අතර ඉදිරි වසර 5ක කාලය තුළ ඉන් මිලියන 1.5ක් සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ අරමුණ බවයි.
එසේම 2025 වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔවුන් පවසා තිබෙනවා.
තවද ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධන සහ සමාජ සුබසාධනය යන මානයන් ත්‍රිත්වය ඔස්සේ ආයතන 10ක්, අමාත්‍යාංශය යටතේ කටයුතු කරන බවද එම නිලධාරීන් පෙන්වා දී තිබුණා.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්රතිලාභ ලබාදීම සදහා තෝරා ගැනීම මෙන්ම එය ලබාදීම මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බවත් එම ජනතාව ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් හරහා අඩුආදායම් තත්ත්වයෙන් මුදවාගෙන සවිබල ගැන්වීම සඳහා තම අමාතයාංශය කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
අස්වැසුම පද්ධතිය යාවත්කාලීන කරන්න කමිටුවක්
