වසර කිහිපයක් තිස්සේ දුම්රිය රියැදුරු පුරප්පාඩු වසර කිහිපයක් තිස්සේ දුම්රිය රියැදුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම, දුම්රිය ගමන් වාර අඩු කිරීමට හා අවලංගු කිරීමට මූලික වශයෙන් බලපා තිබෙන බව දුම්රිය රියැදුරු සංගමය සඳහන් කරනවා.
මෙම තත්ත්වය තවදුරට ත් පැවතියහොත් දුම්රිය සේවය පවත්වාගෙන යෑමට දැඩි බලපෑම් ඇති විය හැකි බව දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව මහතා ඉරිදා මව්බිම පුවත්පතට පවසනවා.
මෙයට පෙර දිනකට ගමන් වාර 390ක් පමණ පැවති අතර අද වන විට ගමන් වාර 340ක් දක්වා අඩු වී ඇතැයි ඔහු සඳහන් කළා.
458ක් අවශ්‍ය දුම්රිය රියැදුරු සංඛ්‍යාවෙන් මේ වන විට සිටිනුයේ 220 ක් වැනි සංඛ්‍යාවක් බව ත් ඒ අනුව රියැදුරන් 238කගේ විශාල හිඟයක් පවතින බව ත් පැවසුවා.
මේ වන විට මේ තත්ත්වයෙන් හෝ දුම්රිය ධාවනය සිදුකරනුයේ කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගත් විශ්‍රාමික දුම්රිය රියැදුරන්ගෙන් බව ත් වාර්ෂිකව දුම්රිය සේවයට රියැදුරන් බඳවා ගතයුතු වුවත් 2005ට පසු අවසන් වරට අලුතින් බඳවාගෙන ඇත්තේ 2017 වසරේදී බව ත් ඔහු කියා සිටියා
පැලැස්තර විසඳුම් සෙවීම වෙනුවට ස්ථිර විසඳුමක් මේ සඳහා නොලැබුණහොත් දියුණු දුම්රිය සේවයක් ඉදිරියටත් බලාපොරොත්තු විය නොහැකි බවට දුම්රිය රියැදුරු සංගමය අනතුරු අඟවනවා.
දුම්රිය රියැදුරු සේවයට බඳවාගනු ලබන කෙනකු වසර තුනක පුහුණුවක් සම්පූර්ණ කළ යුතු බැවින් මේ වසරේ බඳවා ගැනීම සිදුකළත් පුහුණුවීම් නිමකර සේවයට එක් කරන විට 2029 වනු ඇතැයි ද රියැදුරු සංගමය සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමකදී ඊට පිළිතුරු දෙමින් එහි උසස් නිලධාරියකු සඳහන් කළේ, දුම්රිය රියැදුරු පුරප්පාඩු පමණක් නොව තාක්ෂණික හා අනෙකුත් ශ්‍රේණිවල පුරප්පාඩු, එන්ජින්වල හිඟය දුම්රිය ප්‍රමාදයන්ට හා ධාවන අවලංගු වීම්වලට හා සීමා කිරීම්වලට හේතු වී ඇති බව යි.
රියැදුරු හිඟය හේතුවෙන් මේ වන විට දුම්රිය මාර්ග කිහිපයක දුම්රිය අවලංගු කිරීම් හා සෙනසුරාදා, ඉරිදා දිනයන්ට පමණක් සීමා කිරීම් ද කර තිබෙනවා.
