මට වසන්ත විට්ටච්චි මහතා ප්‍රථම වරට හමුවුනේ 1992 දී පමණ පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කල ” අයෝමා ” චිත්‍රපටයේ වේෂ නිරූපන ශිල්පියා ලෙසය. මම පලමුවෙන් චිත්‍රපටියක රගපෑවේ එහිය. එහිදී වසන්ත මට මේකප් දමා පසුව අතට අත දී ශුභ පැතුවාත් මතකය. එදා ඇරඹී හිතවත් කම මේ වන තෙක් පැවතුනේය.
මා පලමු වරට ටෙලි නාට්‍යයක රගපෑවේ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කල ” කරනම ” ටෙලි නාට්‍යයේය. එහිද වේෂ නිරූපන ශිල්පියා වුයේ වසන්තය. එහි වත්තේ මහත්වරු දෙන්නෙක් ලෙස අප දෙදෙනාම රගපෑවෙමු. මට වසන්ත පිලිබද විශේෂත්වය මා ප්‍රථම වරට රගපෑ චිත්‍රපටියේ හා ටෙලි නාට්‍යයේද වේෂ නිරූපන ශිල්පියා වූයේ ඔහු වීමයි.
මා බොහෝ කලක් බද්දේගම සීගිරි සිනමා හලේ කලමනාකරු හා උප කලමනාකරු ලෙසද සේවය කල අතර මහරගම කලාපෙල ආයතනයේ චිත්‍රපටි අධ්‍යක්ෂණය පිලිබද පාඨමාලාව ද හැදෑරුවෙමි. මා සේවය කල සිනමා හල ගිංගඟ යෝජනා ක්‍රමය නිසා කඩා ඉවත් කලෙන් මම සිනමාව අත හැර වතු කේෂ්ත්‍රයට එක් වුනෙමි. මම ජනාවාස කොමිසන් සභාව, ශ්‍රි ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා පසුව වටවල වතු සමාගම යටතේ සේවය කලෙමි. මම යලි චිත්‍රපටි අංශයට යොමු වුනේ දිවංගත කැමරා ශිල්පී සුමින්ද වීරසිංහ නිසාවෙනි. සුමින්ද නිසා හදුනාගත් අය රැසකි. පරාක්‍රම නිරිඇල්ල, නිලේන්ද්‍ර දේශප්‍රිය, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, අජන්ත අලහකෝන්, උදේනි අල්විස්, දුලිප් රෝහණ හා වසන්ත විට්ටච්චි ඇතුළු තවත් විශාල පිරිසක් වෙති.
දිනක් පරාක්‍රම නිරිඇල්ලයන්ට ” ජල රකුසා ” ඒකාංගික ටෙලි නාට්‍යය සදහා කර්මාන්ත ශාලාවක් හා දිය පහරක් සහිත ඇලක් අවශ්‍ය වී තිබී මම එම ලොකේෂන් සොයා දුන්නෙමි. එහි කර්මාන්ත ශාලාවේ අයිතිකරු ලෙස වසන්ත විට්ටච්චිත් ඔහුට විරුද්ධව ගම් වාසීන් මෙහෙයවන පොඩි රාලහාමි ගේ චරිතය මමත් රගපෑවෙමු.
අප එම රූපගත කිරීම් සිදු කලේ නාකියාදෙණිය ඔයිල් පාම් වතුයායේය.මෙහි ජයලාල් රෝහණ හා දීපාල් ගුණරත්න ද රගපෑහ.
දිනක් අප වාහනයකින් බද්දේගම සිට නාගොඩ පැත්තට යන විට හැම්මෑලිය හා උනන්විටිය අතර මග වාහනය නතර කල වසන්ත වම් පස ඈත පෙනෙන නිවසකට තනිවම ගොස් මද වේලාවකින් යලි පැමිණියේය. එම ගෙදර ඔහුගේ ඥාතියෙකු ගේ නිවසක් බවත් ඔහු කලක් එහි නතරව පුස් බයිසිකලය පැදන් පංති ගිය බවත් පැවසීය
පරාක්‍රම නිරිඇල්ල නිර්මාණය කල ” උත්තමාවී ” වේදිකා නාට්‍යට ආරාධනයක් ලැබ නැරඹීමට සහභාගි වුණෙමි. වසන්ත විට්ටච්චි එහි අමතක නොවෙන චරිතයක් රගපෑවා මතකය.
ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කල ” අන්තිම රෑ ” චිත්‍රපටයේ ජවනිකාවකට එහි සහාය අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රිය, මාත්, ගාමිණී මාසච්චි හා ලජිත් කොඩිතුවක්කු ද රත්මලාන පැත්තෙ ලොකේෂන් එකකට කැදවා තිබුණි. අප තිදෙනා එක් වරම එහි ලොකේෂන් හොයා ගැනීමට අසීරුව වටපිට බලමින් සිටිනවිට ගාමිණී මාසච්චි මෙසේ පැවසීය. ” වැඩේ හරි, අර ඈත තට්ටයක් දිලිසෙන්නෙ, අනුමානයක් නෑ ඒ වසන්තගෙ තට්ටෙ තමයි” පැවසීය. අප එතනට ගිය පසු වසන්ත විට්ටච්චි, නිලේන්ද්‍ර දේශප්‍රිය හා ටෙඩී විද්‍යාලංකාර හා තවත් කිහිපදෙනකු විය. වසන්ත නිසා පාර හොයා ගත් බව කියා අපි විනෝද වුනෙමු. මට සජීවීව වසන්ත හමුවූ අවසන් දිනය එදාය. ඉන් පසු නිලේන්ද්‍ර අපි සැමට ( ….බලධරයා විසින් කපන ලදි…..) දැන් නම් විශේෂයෙන්ම වයසක අය ඕනෑකමින් හිස බූ ගා තට්ටය පාදා ගන්නේ තරුණකම ආරූඪ කර ගන්නටය. නමුත් වසන්ත ගේ තට්ටය තරුණ කාලයේ සිට පැවති ඔර්ජිනල් තට්ටයක් වන අතර එය ඔහුගේ අනන්‍යතාව තහවුරු කලේය.
බොහෝ කලකට පසු ජයන්ත චන්ද්‍රසිරි ගේ ” නන්නත්තාර ” ටෙලි නාට්‍යයේ නාකියාදෙණිය වතු යායේ දර්ශන වගයක් දැක වසන්ත ට දුර කථනයෙන් කතා කලෙමි. ඔහු වත්තට නොගිය බවත් කොළඹ දර්ශන වලට සහභාගි වූ බවත් පැවසීය. ඔහු වත්තට ගියා නම් මා සොයන බව පැවසීය.
අප අවසන් වරට හමුවීමට සිතා සිටියේ ජයන්ත චන්ද්‍රසිරි ගේ ” දේවි කුසුමාසන ” චිත්‍රපටය රූපගත කරන විටය. නමුත් මට ෂූටිං තිබුණ දිනයේ වසන්තට ෂූටිං නොතිබුණි. මම ලියු දෝන කතිරිනා චරිතය සදහන් ” නොදැවුන හදවත” හා ” 1 වන විමලධර්මසූරිය රජතුමා” පොත් දෙකක් මම ඔහුට තැපැල් කලෙමි.
දැනට වසර හතරකට පමණ පෙර මට ඔහු ෆේස්බුක් එකේ හමුවුනි. ඉන් පසු මම ඔහුට ජල රකුසා ටෙලි නාට්‍යය රූපගත කරන විට නාකියාදෙණියේදී ගත් අප දෙදෙනාගේ ජායාරූපයක් මැසේන්ජර් කර යැව්වෙමි.
” දේවි කුසුමාසන” තිරගතවෙන විට හමුවීමට අපි කතිකා කරත් ඔහු අපහැර ගොස්ය. පසුගිය කාලවකවානුවේ වසන්ත අසනීපයෙන් බව ආරංචි වුවත් යලි ඉක්මන් සුවය ලබා එතැයි මම විශ්වාස කලෙමි. එම ආරංචිය ලැබුන පසු, ප්‍රවීන කලා අධ්යක්ෂ අජන්ත අලහකෝන් අමතා වසන්ත පිලිබද පණිවිඩය තහවුරු කර ගතිමි. එතුමා ( 26 ) වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය.
වේදිකාව, රූපවාහිනිය හා රිදී තිරය සිය රංගනයෙන් හා වේෂ නිරූපනයෙන් ආලෝකමත් කල වසන්ත විට්ටච්චි නැමති ප්‍රවීණ කලාකරුවාට නිවන් සුව පතමි !
සෝමදාස අබේවික්‍රම
27.02.2025
