විට්ටච්චිලාගේ නාට්‍ය කලාව

ධනංජය කරුණරත්න

වෘත්තිය කර්මාන්තයක් විදියට කිසිදිනක හරියට පදනම නොවැටුණු ශ්‍රී ලංකාවේ අපේ නාට්‍ය කලාව මුළුමනින්ම මෙන් වර්තමානය තෙක් ආවේ , පුහුණුවීම් ශාලාවල සිට නාට්‍ය ශිල්පීන්ගේ ශ්‍රමය දක්වා, පරිත්‍යාගයන් මතයි. ඒක ශ්‍රමදාන නාට්‍ය කලාවක්! අනූ දශකයේ අවසානයේ වෙද්දී එයට ඒ ආකාරයෙන්ම තවදුරටත් පවතින්නට අපහසු අලුත් වෙළඳපළ සහ ආර්ථික අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවුණා.

කෙසේ හෝ මේ ශ්‍රමදානමය ලක්ෂණය නිසා නාට්‍යයක් නිෂ්පාදනය කරනකොට හෝ නාට්‍යයකට සම්බන්ධ වෙනකොට ඒක දුවයි ද නැද්ද එයින් අපිට පවතින්න පුළුවන්ද බැරිද චරිත සංඛ්‍යාව වැඩිද අඩුද ප්‍රේක්ෂකයින්ට හිනා යනවද නැද්ද මේ කිසිවක් නොසිතා හොඳ පිටපතක් නම් ඒ වටා හැකි පමණින් පරිත්‍යාග කර එකතුවීමට පිරිසක් හිටියා. මේ නිසා මේ තත්ත්වය වඩාම හොඳින් පැවතුණු අනුව දශකයට පෙර ස්වතන්ත්‍ර මෙන්ම ලෝක නාට්‍ය කලාවේ ද ඉතාම වැදගත් සහ අභියෝගාත්මක නාට්‍ය නිෂ්පාදන රැසක් ලාංකේය නාට්‍ය කලාවට දායක වුණා.

ඒ ‘ශ්‍රමදාන නාට්‍ය කලාවේ’ තිබුණු අනිත් ලක්ෂණය නම් නාට්‍ය කණ්ඩායමේ ඉන්නා සෑම කෙනෙක්ම මෙන් තමාට නියමිත වෘත්තීය භූමිකාවට පමණක් සීමා නොවී කරන්න තියෙන සෑම දෙයක්ම, සෙට් හැදීමේ සිට පෝස්ටර් ඇලවීම දක්වා කිරීමයි. “ඇටුත් කරලා සෙටුත් ගහලා බසුත් බුක් කරලා මොකුත් නැතුව ගෙදර යනවා” කියන කතාව ආවේ එතනින්. විට්ටචිලාට එද්දි ඒකට මේකපුත් කරලා ගෙදර ගියේ කීවා.

අන්න ඒ ශ්‍රමදාන නාට්‍ය කලාවේ දැවැන්ත ශ්‍රමදායකයක් ලබා දුන් කෙනෙක් ලෙසට වසන්ත විට්ටච්චි සහෝදර ශිල්පියාව අපිට හඳුනගන්න පුළුවන්. ඔහු නැසී ගිය භානු ප්‍රසන්න වැනි ඔහුට පසු පරම්පරාවේ බොහෝ අංග රචනා ශිල්පීන්ට පරිත්‍යාගයෙන් සහයෝගය දුන්නා. විශේෂයෙන් අංග රචනා වැනි විෂයන් වලදී බොහෝ ශිල්පීන් මතු වුණේ ශාස්ත්‍රාලවලටත් වඩා එවන් ජේෂ්ඨ ශිල්පියකුගේ සෙවන සහ මග පෙන්වීම් හරහායි. මට මතකයි සමහර අවස්ථාවන් තිබුණා, භානුගේ බඩු අඩු වෙනකොට සල්ලිත් නැති වෙනකොට, විට්ටච්චි ළඟට දුවගෙන ගිහිල්ලා තමයි ඒවා හොයාගත්තේ. සියලු දායකත්වයන් ලබා දී නාට්‍යකින් කටුක දුක් දොම්නස් ඉතුරු වුණා නම් එයද සුහද සිනහවකින් පිළිඅරගෙන ඒ කට්ටිය ගෙදර ගියා.

වසන්ත විට්ටචිට අපගේ ස්තුතිය, ගෞරවය සමඟ සුභ ගමන් පතමු!

Author

Related Posts