නාමල් රකින්න පිපෙන පෙහොට්ටුව

නාමල් රාජපක්ෂට ගමට නොවේ ළඟදීම වළට යන්න වෙන්නේ කියලා රජයේ වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයෙක් කරන ලද ඉතාමත් බරපතළ අන්දමේ ප්‍රකාශයෙන් හැඟවෙන මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළා.

මෙය සුළුකොට තැකිය හැකි ප්‍රකාශයක් ලෙස බැහැර කළ නොහැකි බවත් වළට යනවා කියන එකෙන් ඉතාමත් පැහැදිලිව අදහස් කරන්නේ ඔහුගේ ජීවිතය ළඟදීම නැති වීමේ ඉඩකඩක් තිබෙනවා කියා අනතුරු ඇඟවීමක් යැයිද නීතිඥ මනෝජ් ගමගේ පවසා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවා ද කියන ප්‍රශ්නය මේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් එක්ක ආණ්ඩුවෙන් විමසන බවත් බළලා මල්ලෙන් එළියට පනිනවා වගේ කට පරිස්සම් කරගෙන ඉන්න බැරිව එය කටින් එළියට එන බවත් ඔහු සඳහන් කළා.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර මේ රටේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කියනවා ඊයේ රාත්‍රියේ අපි කතා කළා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්න එක පිළිබඳව ඒ හා සමාන ප්‍රකාශයක් තමයි ඊයේ දවසේ කළ මේ ප්‍රකාශ තුළින් අපි දකින්නේ යැයිද නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර සිටියා.

නියෝජ්‍ය ඇමතිවරයා මේ එළියට දැම්මේ මොවුන්ගේ අභ්‍යන්තරයේ සිදුවන සාකච්ඡාවක කොටසක්දැයි කියන ප්‍රශ්නාර්ථය අපට තිබෙන බව ඔහු පැවසුවා.

මෙම නියෝජ්‍ය ඇමතිවරයා කැඳවා නාමල් රාජපක්ෂ වළට යවන්න ඔවුන් සැලසුම් කරලා තිබෙන්නේ කුමනාකාරයෙන් ද කියලා ඔහුගෙන් ප්‍රශ්න කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (.25) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කළා.

Author

Related Posts