නඩු විභාගයට ගන්නා අවස්ථාවන්හිදී අධිකරණ ශාලා තුළ ගිනි අවි රැගත් බන්ධනාගාර නිලධාරීන් රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
බන්ධනාගාරවලින් අධිකරණ වෙත රැගෙන යන විශේෂිත වූ සැකකරුවන් ඇතුළු සියලු ම සැකකරුවන්ට පූර්ණ ආරක්ෂාවක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙන බවයි පැවසෙන්නේ.
පාතාල කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව නමැත්තාට කොළඹ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සාහසිකයෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව බන්ධනාගාර උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර අධිකරණ ශාලා තුළ ගිනි අවි සහිත බන්ධනාගාර නිලධාරීන් රඳවා තැබීම සම්බන්ධයෙන් එහිදී එසේ අවධානය යොමුව තිබුණා.
මේ වන විට පවතින නෛතික තත්ත්වයන් අනුව බන්ධනාගාරවල සිට අධිකරණ වෙත සැකකරුවන් රැගෙන එන බන්ධනාගාර නිලධාරීන්ට ගිනි අවි සහිතව එම අධිකරණ ශාලා තුළට ඇතුළු වීමට නොහැකි අතර අධිකරණ ශාලා තුළ ගිනි අවි අත දරා සිටීමට හැකියාව ඇත්තේ අධිකරණ ශාලාවේ පොලිස් නිලධාරියාට පමණයි.
T-56 වැනි තරමක් විශාල ගිනි අවි අධිකරණ ශාලාවක් තුළ භාවිත කිරීමේ ගැටලුවක් පැනනැගීම නිසා පිස්තෝල වර්ගයේ කුඩා ගිනි අවි සහිත නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අධිකරණ ශාලා තුළ රඳවා තැබීමට ඇති නෛතික තත්ත්වය පිළිබඳව එම හමුවේදී සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසන්නේ, ගිනි අවි සහිත බන්ධනාගාර නිලධාරීන් අධිකරණ ශාලා තුළ රඳවා තැබීමට අවශ්‍ය නීතිමය තත්ත්වයක් මේ වන විට නොමැති බැවින් අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව හා පොලිස් දෙපාර්තමේන්තුව සමග මෙන් ම මහේස්ත්‍රාත්වරුන් හා විනිසුරුවරුන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳව සුදුසු තීරණයක් ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යි.
