කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සඟවා තිබූ ආයුධ පිළිබඳව ප්‍රකාශ කළ බව ත් එම අවි ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී සැකකරුවන් විසින් පොලිසිය සතු ගිනි අවිය උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ දරා ඇති බව ත් ය.
එහිදී පොලිස් නිලධාරීන් විසින් ජිවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.
ඔහු තවදුරටත් පැවසුවේ, එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ඊයේ (21) රාත්‍රී 9:00ට පමණ කොටහේන විදියේ ජංගම දුරකතන අලෙවිසැලක් තුළදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 38ක්වූ ශෂී කුමාර නමැති පුද්ගලයෙක්.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා යමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම වෙඩි තැබීම සිදු කිරීම සඳහා භාවිත කළ ගිනි අවිය හා යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසනවා.
