හඳුනාගත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක්;අනුගාමිකයින් 1400ක්

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහභාගී වී තිබෙනවා.

රට තුළ අපරාධ මර්දනය සහ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන අවස්ථාවක ඒවා අඩපණ කිරීමේ උත්සහයක නිරත පිරිසක් සිටින අතර, ඔවුන් හඳුනගෙන ඇති බවත්, එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පැවසුවා.

තවද, එහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, මේ වනවිට මෙරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ගේ අනුගාමිකයින් 1400ක් පමණ හඳුනාගෙන ඇති බවත් ය.

ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි අංශ හරහා ලබාගෙන ඇති බවත්, ඔවුන්ගේ නායකයින් විදෙස්ගත වී මෙම අපරාධ ක්‍රියාත්මක කරන බවත්, පොලිස්පතිවරයා සඳහන් කළා.

ඒ අනුව, 2024 වසරේදී වෙඩි තැබීම් 75ක්, නිශ්චිතවම අනාවරණය නොවූ තියුණු ආයුධවලින් පහරදීම් 18ක් වශයෙන් 93ක් වාර්තා වී තිබෙන බවයි ඔහු පැවසුවේ.

2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 17ක්, තියුණු ආයුධවලින් පහරදීම් 05ක් ලෙස සියලුම සිද්ධීන් 22ක් වාර්තා වූ බව ද ඔහු සඳහන් කළා.

ඔහු සඳහන් කළේ මේ වසරේ වූ සිදුවීම්වලින් 17ක් මේ වනවිට විසඳා ඇති බවයි.

මෙම අපරාධවලට ඍජුව හෝ වක්‍රව පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ හෝ ආරක්ෂක සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ සහාය ලැබී තිබෙන බවත්, ඔවුන්ව හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගන්න කටයුතු කරන බවත්, ඔහු සඳහන් කළා.

Author

Related Posts