නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලද බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා සිල්වා මහත්මිය අද (21) දින නියම කළා.
අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී ගරු අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමඟ යවමින් නීතිපති උපදෙස් උවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුලු නීතිඥ මඬුල්ල කියා සිටියා.
අධිකරණයට ගොනුකර ඇති බී වාර්තාවට අනුව වසන්ත සමරසිංහ මහතා කොළඹ වංචා විමර්ෂණ කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කස් කොංග්රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත් වූ බව පවසා සිටියද කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලයම 2024 වර්ෂය දක්වාත් සිටින බවයි.
නැෂනල් වර්කස් කොංග්රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උප සභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන අයගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහා 206,207 දරණ බදු ඔප්පු මඟින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනීයන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දී තිබෙනවා.
ඔහු අධිකරණය හමුවේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ඇති බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත්දැයි මහේස්ත්රාත්තුමිය වංචා විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බව ඔවුන් පවසා තිබුණා.
වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පවසා සිට ඇත්තේ ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ දැනට නඩුකරයක් පවතින හෙයින් එම නඩුකරය පාදක කරගෙන මෙහි භාරකාරත්වය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වය මත අපරාධ වරදක් අනාවරණය කර ගැනීම ට නොහැකි බැවින් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බවයි.
මෙම නඩුව මාර්තු මස 07 වන දින නැවත කැදවීමට නියමිත අතර එදින අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියමිතයි.
