හිටපු බන්ධනාගාර කොමසාරිස්ට අධිචෝදනා භාරදීලා

හිටපු බන්ධනාගාර කොමසාරිස් කේ. කේ. සුමිත් රංජන් නමැත්තාට කොළඹ මහාධිකරණය හමුවේදී ඊයේ (20) අධිචෝදනා භාර දී ඇති බව ‘දිවයින’ වාර්තා කරනවා.

ඒ, සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් ලක්‍ෂ 500 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවකට අනුවයි.  

කේ. කේ. සුමිත් රංජන්  බන්ධනාගාර අධිකාරිවරයකු ලෙස කටයුතු කළ වසර දෙකක් තුළදී එනම් 2014 – 2016 කාලය තුළදී ප්‍රධාන බැංකු දෙකක ඔහුගේ නමින් පවත්වාගෙන ගිය ජංගම හා ස්ථාවර ගිණුම් දෙකක රුපියල් ලක්‍ෂ 300ක මුදල් තැන්පත් කොට තිබූ බවට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම,  විත්තිකරු විදේශ සංචාර සඳහා අතිවිශාල මුදලක් වැයකර ඇති බවත් එම වසර දෙකක කාලය සඳහා පමණක් ඔහු ජීවන වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 34කට අධික මුදලක් වැයකර ඇති බවත් එහි සඳහන්ව තිබෙනවා.

ඊයේ මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස් මහතා කළ ඇප ඉල්ලීමට පැමිණිල්ල විරුද්ධත්වයක් නොදැක්වූ යෙන් රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදාහැරීමට  මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

විත්තිකරුගේ ඇඟිලි සටහන් ලබාගෙන පෙර වැරදි වාර්තාවක් කැඳවීමටත්, එම නඩුව ලබන මාර්තු 4 වැනිදා යළි කැඳවන ලෙසත්  විනිසුරුවරයා නියෝග කර තිබුණා.

තවද, විත්තිකරුට විදේශ ගමන් තහනමක් ද පැනවූ විනිසුරුවරයා එම ඇප කොන්දේසි කඩ කළහොත් ඇප නියෝගය අවලංගු කොට රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවට ද අවවාද කර තිබෙනවා.

Author

Related Posts