තරුණසේවා සභාපති දුන් කෝටි 19යේ චෙක් කතාව

ස්මාර්ට් යූත් (Smart Youth) ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188ක පමණ චෙක්පත් අක්‍රමිකව ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වි තිබෙනවා.

මෙම ගනුදෙනුවට තරුණ සේවා සභාවේ සභාපතිවරයා බලපෑම් කළ හේතුවෙන් වියදම් සහතික කළ බවත් එසේ නොකළා නම් නිලධාරීන් ලෙස තම කණ්ඩායම මාරු කරාවි යැයි බියෙන් එය සහතික කළ බවත් කාරක සභාවේදී නිලධාරීන් පැවසු බවයි වාර්තා වන්නේ.

එමෙන් , රුපියල් මිලියන 100ක් පමණ මහ භාණ්ඩාගාරයෙන් ලැබුණේ ජනාධිපතිවරණයට පෙරදින සවස බවද එහිදී නිලධාරීන් පෙන්වාදී තිබුණා.

එහිදී කාරක සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වෙනුවෙන් වියදම් කළ බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවයි.

කෙසේ නමුත්, රාජ්‍ය නිලධාරීන් තමන්ට පැවැරුණු කාර්යභාරය නිවැරැදිව පෞරුෂයක් සහිතව ඉටුකළ යුතු බවට කෝප් සභාපතිවරයා අවධාරණය කළ අතර මේ පිළිබඳ ප්‍රශ්න කර විමර්ශනය කිරීමට ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවීමටද තිරණය කර තිබෙනවා.

මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව, නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළි වි තිබුණා.

මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (වෛද්‍ය) නිශාන්ත සමරවීර පෙන්වා දුන්නේ, මෙය ඉතා සංවේදී කරුණක් බවත් රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිතකොට ඇති බව ත් ය.

මෙම සියලු තොරතුරු අනාවරණය වූයේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 වන දින පවත්වන ලද ‍පොදුව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පෙබරවාරි 18 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

Author

Related Posts