E-Passport ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සූදානම්?

E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළා.

ඒ අනුව, E-විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු තවත් මාස 8කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ සමාගම් සමග ගිවිසුම් ගතවීමද මේ වනවිට සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මකයි.

ඊට අදාළව නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතුද සුදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කළා.

මේ අතර යෝජිත පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළව ආගමන විගමන නිලධාරීන් 186 දෙනෙකු බඳවාගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ සඳහා උපාධිධාරීන් බඳවාගැනීමට අදාළ විභාගය පැවැත්වීම වෙනුවෙන් දිනයක් ලබාදෙන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කර ඇති අතර එම දිනය ලැබීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

Author

Related Posts