ගංවතුර වගා හානි වන්දි ගෙවීම අවසන් අදියරේ

පසුගිය වසරේ නොවැම්බර් මස ඇතිවූ ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වෙනුවෙන් වන්දි ලබාදීම ආරම්භ කර තිබෙනවා.

වී වලට අමතරව, අමු මිරිස් හා අර්තාපල් වගාවන්ට ද සිදුවූ හානිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂා කර අවසන්ව ඇති අතර වන්දි ලබාදීම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.

මේ යටතේ එම දිස්ත්‍රික්කයේ සිදුවූ වගා හානි වෙනුවෙන් ගොවීන් 6,239 දෙනකු සඳහා අක්කර 9067.40ක් වෙනුවෙන් රුපියල් මිලියන 114ක් නිදහස් කර ඇතැයි ද එම මණ්ඩලය පවසා සිටිනවා.

එසේම වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශ අනුව වගා හානි අයැදුම්පත්වලට අදාළ මුදල් ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, අක්කර 4324ක හානිවූ වගා සඳහා ගොවීන් 3272 දෙනකුට රුපියල් මිලියන 70ක් ගිණුම් වෙත බෙදාහැර ඇතැයි එම මණ්ඩලය සඳහන් කරනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ වගා හානි නිර්දේශයන්ට අනුව වගාබිම් අක්කර 7657ක ගොවීන් 8705ක් සඳහා රුපියල් මිලියන 122ක මුදලක් පෙරේදා (10දා) ගොවීන්ගේ ගිණුම් වෙත බැරකර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වී, අමු මිරිස් සහ අර්තාපල් වගාවන්ට සිදුවූ හානියට වන්දි මුදල් තක්සේරු කිරීම ද මේ වනවිට ආරම්භකර ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

Author

Related Posts