නීති වීරෝධි ලෙස මෙරටට ආනයනය කළ ජීප් රථයක් ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එම රථය අද (12) සිය භාරයට ගෙන තිබෙනවා.
එම ප්‍රහාරක බලකායේ බුද්ධි නිලධාරින් දෙදෙනෙකු ආවේක්ෂණ රාජකාරි සඳහා යොදවා, පැලවත්ත ජපන් මිත්‍රත්ව පාරේ පාර්ලිමේන්තු පාර හංදිය අසලදී අදාළ ජීප් රථය හා එය පැද වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම රථය මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ රථයක් වන අතර, එහි වැඩිදුර විමර්ශන කටයුතු තලංගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
අත්අඩංගුවට ගත් මෙම රථයේ රියදුරු 52 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු මහර ආසනයේ ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකයෙකු ලෙසත් කටයුතු කළ අයෙකු බව පොලීසිය පවසනවා.
එමෙන්ම ඔහු හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.
පොලීසිය භාරයට ගත් මෙම ජීප් රථය කෝටි 04කට අධික වටිනාකමකින් යුතු බව පොලීසිය සඳහන් කරනවා.
මෙම රථය ඉතා සුක්ෂම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නීතිවිරෝධීව මෙලෙස මෙරටට ගෙන්වනු ලබන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් කූඨ ලේඛන සකස් කර පරිගණක දත්ත පවා වෙනස් කරමින් කටයුතු සිදුකරන බවට පොලීසියට කරුණු වාර්තා වී තිබුණා.
අත්අඩංගුවට ගන්නා ලද මෙම රථයේ ලියාපදිංචි අංකයෙන්ම යුතු විදුලි කාර් රථයක් 2018 වර්ෂයේදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර එම අංකයෙන් යුත් මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් 2019 වර්ෂයේදී ද එම ප්‍රහාරක බළකාය මගින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙවරද වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින්ම මෙම සුඛෝපභෝගි ජීප් රථය ද අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.
