විදුලිය බිඳවැටීම ගැන CIDයට පැමිණිල්ලක්

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය ඇතුළු වෘත්තීය සමිති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ උප සභාපති නන්දන උදය කුමාර මහතා, සඳහන් කළේ විදුලි සැපයුම් පද්ධතියේ අවධානම මඟ හැරගන්න සිදු කළ යුතු කාරණා ඉටු වී නොමැති අතර එම වගකීම් පැහැර හැරි පාර්ශවයින් අපරාධමය වරදක් සිදු කර ඇති බවයි.

“පද්ධතියට සිදුවු අලාභයට නොරොච්චෝලේ බලාගාරයට සිදුවුණු හානිය නිසා මේ සිකුරාදා වෙනකම් නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එක් කිරීමේ හැකියාවක් නැහැ. ගල් අඟුරුවලින් අඩු මුදලට ජනනය කරන්න පුළුවන් විදුලිය වෙනුවට මේ වෙනකොට යුනිට් 1 රුපියල් 50 -60 වගේ මුදලට ඩීසල් සහ වෙනත් ඉන්ධන භාවිත කරල එකතු කරනවා. ඒ අමතර පිරිවැය එකතු කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය. අවසානයේ විදුලි ගාස්තු සංශෝධනයේදී ජනතාවටම එය දරන්න සිදුවෙනවා. වගකීම් පැහැර හැරපු අදාළ පුද්ගලයින් මේ පිරිවැය වැඩිවීමට වගකියන්න ඕන”

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ල පහතින්,

“2025.02.09 වන දිවයින පුරා සිදුවූ විදුලි බිදවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති මූලික කරුණු දැක්වීම සහ බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි යම් පරස්පරතාවයක් නිරීක්ෂණය වන බැවින් අදාළ බිද වැටුම යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි සැකයක් මතුව ඇත. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතියක් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින් මීට පෙර සති අන්තයන් වලදීද මෙලෙස පද්ධතිය බිද වැටීමට ගිය අවස්ථාවලදී එම නිළධාරීන්ගේ දක්ෂතාව මත එම අවස්ථා කළමනා කරණය කර ගැනීමට හැකි වූ බව සඳහන් කර ඇත. මෙම අවධානම පිළිබඳව විධිමත් ලෙස අදාළ නිළධාරීන් දැනුවත් කර ඇති බව එමගින් සනාථ වේ.

එවැනි අවධානමක් පිළිබඳව පූර්ව දැනුවත් වීමක් තිබියදී එම අවධානම මග හරවා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට වගකිව යුතු පුද්ගලයන් නිසි පියවර නොගැනීම අපරාධමය වරදක් ලෙස හැගෙන බැවින් ඒ පිළිබඳවත් ඒ හේතුවෙන් අදාළ දින පැය කිහිපයක් පද්ධතිය බිදවැටීම හරහා ලංකා විදුලිබල මණ්ඩලය සතු බලාගාර සහ රැහැන් පද්ධතිය ඇතුළු දේපළ වලට සිදු වූ හානිය මෙන්ම මෙම විදුලි බිදවැටීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය ජනනය කිරීම සඳහා දැරීමට සිදුවන අමතර පිරිවැය අදාළ වගකිව යුතු පුද්ගලයන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් කටයුතු සිදුකර දෙනමෙන් ඉල්ලමි”

Author

Related Posts